නව අමාත්‍යාංශවලට අයත් විෂයපත ගැසට්කර තිබෙනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගිනුයි ඒ බව ප්‍රකාශයට පත්කර ඇත්තේ.
නව අමාත්‍ය මණ්ඩලයේ එක් එක් අමාත්‍යවරුන්ට පැවරෙන විෂයන් හා කාර්ය භාරයන් මෙන්ම එම අමාත්‍යාංශවලට අයත් දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා සංස්ථාපිත ආයතන ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ජනාධිපතිතුමා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශයට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය, ත්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය, රණවිරු සේවා අධිකාරිය මෙන්ම ආරක්ෂක සේවා පාසල ඇතුළත්.
ජාතික ශිෂ්‍ය භට බලකාය, ජාතික ආරක්ෂක අරමුදල, රාජ්‍ය රහස් තොරතුරු සේවය, ආරක්ෂක පරීක්ෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මෙන්ම ලංකා ලොජිස්ටික් සහ ටෙක්නොලජිස් ලිමිටඩ් ආයතනය ද එම අමාත්‍යාංශයට අයත් වනවා.
පොලිස් දෙපාර්තමේන්තුව, ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය සහ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ද ඇතුළත් වන්නේ ආරක්ෂක අමාත්‍යාංශයටයි.
අග්‍රාමාත්‍යවරයා යටතේ පවතින ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචිකිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු නිපුණතා සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශයට ද ආයතන රැසක් ඇතුළත්. ඒ අනුව තල් සංවර්ධන මණ්ඩලය, ජාතික තරුණ සේවා සභාව, ජාතික යොවුන් සේනාංකය, ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය, මහවැලි ජල සුරක්ෂිත ආයෝජන වැඩසටහන ඊට ඇතුළත්. එමෙන්ම පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ද ඇතුළත් වන්නේ එම අමාත්‍යාංශයටයි.
මහා භාණ්ඩාගාරය, ශ්‍රී ලංකා මහ බැංකුව, සියලුම රාජ්‍ය බැංකු හා ඒවායේ පාලිත සමාගම්, සුරැකුම් පත් හා විනිමය කොමිසම, ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය ජනමාධ්‍ය හා මුදල් අමාත්‍යාංශයට අයත් වෙනවා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනී සේවය හා ලේක්හවුස් ආයතනය ද මහජන උපයෝගීතා කොමිෂන් සභාවද අයත් වන්නේ එම අමාත්‍යාංශයටයි.