අධ්‍යාපන ක්ෂේත්රයේ දේශපාලන පළිගැනීම්වලට ලක් වූවන්ට පත්වීම් හා උසස්වීම් පිරිනැමීම නැවත පරීක්ෂාකර බැලීමට පත්කළ කමිටු වාර්තාව අද(21) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගන්වනු ලැබුවා. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සැදුම් ලත් සත් පුද්ගල නිලධාරී මණ්ඩලයකින් මෙම කමිටුව සමන්විතයි.
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන, ගුරු අධ්‍යාපනඥ, විදුහල්පති හා ගුරු සේවාවන්හි දේශපාලන පළිගැනීම් මත පත්වීම් සහ උසස්වීම් ලබාදීම සම්බන්ධයෙන් පරීක්ෂාකර නිර්දේශ ලබාදීම සදහා ජනාධිපතිතුමා කමිටුවක් පත්කරනු ලැබුවා. එහි වාර්තාව අද ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවේ කමිටුවේ සභාපති අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගොඨාභය ජයරත්න මහතායි. 1994 වසරේ සිට 2014 දක්වා කාලය තුළ සිදුවූ බව කියන දේශපාලන පළිගැනීම් මත අධ්‍යාපන ක්ෂේත්රයේ පත්වීම් සහ උසස්වීම් ලබාදීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් අධ්‍යාපන වෘත්තීය සමිති වෙතින් එල්ල වුණා. ඊට ප්‍රතිචාර වශයෙන් එම පත්වීම් සහ උසස්වීම් පිළිබද පරීක්ෂාකර බලා නිර්දේශ ලබාදෙන ලෙස ජනාධිපතිතුමා එම කමිටුව පත්කරනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් මාසයේයි.
මේ අතර ජපානයේ හෂීමා නගරයේ නගරාධිපති සටෝෂි මට්සුයි මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් අද(21) ජනාධිපති නිල නිවසේදී සිදුවුණා. 2020 වසරේදී ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා පැමිණෙන ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයින් වෙනුවෙන් එරට හෂීමා නගරය සත්කාරකත්වය දරණ බව සටෝෂි මට්සුයි මහතා මෙහිදී නිල වශයෙන් ජනාධිපතිතුමා වෙත ප්‍රකාශ කළා. එමෙන්ම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය වෙත රුපියල් ලක්ෂ 8 ක් වටිනා ක්‍රීඩා උපකරණ පරිත්‍යාග කිරීමට අදාළ අවසර පත්ද ඒ මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලැබුවා. ජාතික මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා වෙත එම අවසරපත් ලබාදීම සිදුවුණේද ජනාධිපතිතුමා අතින්. පාදුක්ක දිසා රෝහලට ලබාදීමට නව ගිලන් රථයක් පරිත්‍යාග කිරීමට අදාළ අවසරපත්ද හෂීමා නගරයේ නගරාධිපතිවරයා ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවා.