නවතා දමා තිබූ සියලු සංවර්ධන හා සුබ සාධන කටයුතු යළි ඇරඹීමට අතුරු සම්මත ගිණුම මගින් මුදල් වෙන්කර ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්රකාශකළා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මංගල සමරවීර මහතායි නව රජයේ පලමු කැබිනට් මණ්ඩල රැස්වීමට අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කළේ. ඊට අනුමැතිය හිමිවුණා.
ලබන වසරේ පලමු මාස හතර සදහා රජයේ වියදම් වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 1765 ක්. ඉන් බිලියන 970 ක් පොලී සහ වාරික වෙනුවෙන් වෙන්කර තිබෙනවා. ඒ අනුව ලබන වසරේ පලමු මාස හතරේ වියදමෙන් සියයට 55 ක පමණ ප්‍රතිශතයක් රජයේ ණය , වාරික හා පොලී ගෙවීමට වැයවන බවයි අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. දේශිය ආර්ථිකය සහ ගම දියුණු කිරිම සදහා රනිල් වික්‍රමසිංහ රජය හදුන්වාදුන් ගම්පෙරලිය , ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා සහ එක් ගමකට එක් වැඩක් යන වැඩසටහන් පසුගිය ඔක්තෝබර් 26 වනදා පත්වූ අමාත්‍ය මණ්ඩලය මගින් නතර කර තිබුණා. රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නව රජයක් පත්කිරිමට නොහැකිවූයේ නම් ලබන වසරේ සිට රාජ්‍ය සේවයේ වැටුප් ගෙවීම ඇතුලු පොහොර සහනාධාරය, පාසල් නිල ඇදුම් , සමෘද්ධි සහනාධාරය සහ සියලු සුබ සාධන කටයුතු පවත්වාගෙන යාමට අවස්ථාවක් නොමැතිවීමට ඉඩ තිබූ බවයි අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. අතුරු සම්මත ගිණුම මගින්මමෙ සියලු කටයුතු ආරම්භ කිරීමයි සැලැස්ම.
ලක්ෂ 40 කට වැඩි පාසල් සිසුන්ට නිල ඇදුම් සදහා වවුචර්පත් ලබාදීමට හැකිවීම ද එහි ප්‍රධාන කරුණක්. අතුරු සම්මත ගිණුම හෙට (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමටයි නියමිත. ලබන ජනවාරි මාසය තුළ නව අයවැය ඉදිරිපත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අමාත්‍යාංශයේ වැඩ භාරගනිමින් සදහන් කලා.