ජනාධිපතිතුමා සම්බන්ධයෙන් සමන් රත්නප්‍රිය මහතා කර ඇති ප්‍රකාශය පිළිබඳව කරුණු විමසීම සදහා රත්නප්‍රිය මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. ලිබියාවේ ගඩාෆි මෙන් ජනාධිපතිවරයාද ඝාතනය විය හැකි බවට රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළ බවට චෝදනා එල්ලවී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ විමර්ශන ඒකකය විමර්ශන ආරම්භ කර තිබෙනවා. පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උපුල් නිශාන්ත මහතායි පැමිණිල්ල සිදුකළේ.
ඔහු එම පැමිණිල්ලෙන් දක්වා ඇත්තේ සමන් රත්නප්‍රිය යන අය රට තුළ අරගලයක් නිර්මාණය වන හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අන්දමේ ප්‍රකාශයක් කර ඇති බවයි. ඒ අනුව විශේෂ විමර්ශන ඒකකය පසුගියදා පැමිණිලිකරුගෙන් දීර්ඝ ප්‍රකාශයක් හා තවත් ප්‍රකාශ කිහිපයක් සටහන් කරගෙන තිබෙනවා. අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ කරුණු වාර්තාකර තිබෙනවා.
රත්නප්‍රිය මහතා අදාළ ප්‍රකාශය සිදු කළ බව කියන මාධ්‍ය සාකච්ඡාවේ සංස්කරණය නොකළ දර්ශන රූපවාහිනී නාලිකාවලින් ලබා ගැනීම සදහා ද අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
මේ අතර ගාමිණී වියන්ගොඩ සහ මහාචාර්ය සරත් විජේසූරිය යන මහත්වරුන්ද ප්‍රකාශ ලබා දීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියා. පුරවැසි බලය සංවිධානයේ සාමාජිකයන් ලෙස තමන්ට ද ප්‍රකාශ ලබා දීමට පැමිණෙන ලෙස කළ දැනුම් දීම අනුව එසේ පැමිණි බවයි ඔවුන් ප්‍රකාශ කළේ.