මෙරට ගොවි ජනතාව වෙනුවෙන් රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තවත් ජනතා බලාපොරොත්තුවක් ඉටුකරමින්, ප්‍රතිසංස්කරණය කෙරුණු ඉරනමඩු ජලාශය අද (07) ජනතා අයිතියට පත් කළා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පූර්ණ මගපෙන්වීමෙන් මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් සමග ආරම්භ කෙරුණු මෙරට වාරි ක්‍රියාන්විතයේ දෙවන පියවර ලෙස උතුරේ විශාලතම ජලාශය වන කිලිනොච්චි, ඉරනමඩු ජලාශයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුණේ 2015 වසරේදීයි.
1975 වසරෙන් පසුව ජලාශයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරුණු පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්. අක්කර විසිඑක්දහසක භූමි ප්රමාණයකඉදිකර ඇති ඉරනමඩු ජලාශය මගින් සෙත සැලසෙන පවුල් සංඛ්‍යාව 9180 ක්. මෙම ජලාශය පිළිසකර කිරීමෙන් අනතුරුව ප්‍රදේශයේ ගොවි ජනතාවට යල මහ දෙකන්නයේම කිසිදු ගැටලුවකින් තොරව සිය වගා කටයුතු සිදුකිරීමට අවස්ථාව සැලසෙනවා. ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල ගැටලුවට ද විසදුම් හිමිවන්නේ මීට අමතරවයි. රුපියල් මිලියන දෙදහසකට වැඩි වියදමක් දරමින් සිදුකෙරුණු මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සදහා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය සහ ආසියානු සංවර්ධන බැංකුව මූල්‍ය ප්‍රතිපාදන සපයනු ලැබුවා. ජලාශයේ මීට පෙර ධාරිතාව ඝනමීටර් මිලියන 131 ක් වූ අතර ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව එහි ජල ධාරිතාව ඝනමීටර් මිලියන 148 ක්. කිලිනොච්චි ජනතාවට අතිරික්ත වන ජලය ඉදිරියේ දී යාපනය ජනතාවගේ අවශ්‍යතාවන් වෙනුවෙන් රැගෙන යාම ජනාධිපතිතුමාගේ අපේක්ෂාවයි.
ජලාශය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව පළමුවරට වාන් දැමීමේ අවස්ථාව අද (07) උදාවූ අතර ජලාශයේ පරිශ්‍රය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එහි වාන් දොරටු විවෘත කරනු ලැබුවා. අනතුරුව ජලාශ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකටද එක්වූ ජනාධිපතිතුමා එහිදී අදහස් දක්වමින් පැවසුවේ ඉරනමඩු ජලාශයෙන් ජලය නිකුත්වීම උතුරේ සංහිදියාව ශක්තිමත් කිරීමට විශාල යුග මෙහෙවරක් සිදුකරන බවට තමන් විශ්වාස කරන බවයි.
අනතුරුවව ජනාධිපතිතුමා කිලිනොච්චිය ශාන්තිකුලම් ප්‍රදේශයේද නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ජනාධිපතිතුමාගේ පැමිණීම සැලවීමෙන් ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් එම ස්ථානයට රැස්ව සිටි අතර ඔවුන් මහත් ගෞරවයෙන් යුතුව ජනාධිපතිතුමා පිළිගනු ලැබුවා. එම ජනතාවගේ තොරතුරු විමසූ ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කතාබහක නිරතවීමට අමතක කළේ නැහැ. තම දීර්ඝකාලීන සංවර්ධන ගැටලු විසදා දෙමින් තමදරුවන්ගේ අනාගතය පිළිබද සුබ සිහින දැකිය හැකි සංවර්ධනයක් උදාකරදීම පිළිබද එම ජනතාව අනේකවාරයක් ජනාධිපතිතුමා වෙත ස්තූතිය පළකළා. එහිදී ශාන්තිකුලම් විද්‍යාලයේ අඩුපාඩුකිහිපයක් පිළිබදව ද විදුහලේ විදුහල්පතිවරයා ජනාධිපතිතුමා දැනුවත් කළා. එම ගැටලුපිළිබදව කඩිනමින් සොයා බලා විසදුම් ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා උතුරුපළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා වෙත උපදෙස් ලබාදුන්නා.