පුත්තලම දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට බලපා ඇති වන අලි තර්ජන හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑම් සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් ප්රදේශයේ සැරිසරන වන අලින් විල්පත්තුව අභය භූමියට ආසන්න සෙල්ලකන්දල් රක්ෂිතයට පලවා හැරීම සදහා දැවැන්ත මෙහෙයුමක් ක්රියාත්මක කර තිබෙනවා.
පුත්තලම දිස්ත්රික්කයේ වනාතවිල්ලුව ආනමඩුව, නවගත්තේගම, කරුවලගස්වැව හා මහකුඹුක්කඩවල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට බලපා ඇති වනඅලි තර්ජනය හේතුවෙන් මෙම වසර තුළ පුද්ගලයින් 5දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නිවාස හා දේපලවලට අලාභ හානි රැසක්ද සිදුව ඇති අතර වගාබිම් විශාල වශයෙන් විනාශයට පත්ව තිබෙනවා.
මේ හේතුවෙන් මෙම ප්රදේශයෙන් වනඅලින් පලවා හැරිම සදහා වනජීවී දෙපාර්තමේන්තුව, ගුවන් හමුදාව, පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් එක්ව දැවැන්ත මෙහෙයුමක් ආරම්භකර තිබෙනවා. මෙහෙයුම දින 10 ක් පුරා ක්රියාත්මකයි.
පලවා හරින ලද වන අලින් නැවත ගම්වැදීම වැලැක්වීම සදහා මේ වන විට සකස්කර ඇති අලිවැට නිසි පරිදි නඩත්තු කිරීමටද කටයුතු යොදන බව පුත්තලම වනජීවී සහකාර අධ්යක්ෂ ඩබ්ලිව්.එම්.කේ.එස් චන්ද්රරත්න මහතා ප්රකාශ කළා.