fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාතර සිසු ඝාතනයේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2018 11:17

මාතර සිසු ඝාතනයේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

බොහෝ දෙනෙකු නෙත් අයා බලා සිටියදී අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් යෞවන යෞවනියන් කිහිප දෙනෙකු පිළිබද සංවේදී පුවත් මේ දිනවල මාධ්‍යවල ප්‍රධාන පුවත් බවට පත්ව තිබෙනවා. නූතණ තාක්ෂණය හරහා හෝ යමෙකුගේ මරණය සිදුවන ආකාරය බලා සිටින්නට තරම් මිනිස් සිත් කුරිරුවීම කණගාටුවට කරුණක්. දිනෙන් දින වාර්තාවන මෙවැනි තොරතුරුවලින් සමාජයේ සාරධර්ම ගිලිහීයාම  ඛේදනීය තත්ත්වයක් වී ඇති බවයි පැහැදිලි වන්නේ.

නවීන තාක්ෂණයත් සමග ලෝකය ඉදිරියට ගියද සමාජය වටිනා සාරධර්මයන්ගෙන් ඈත්වෙමින් පවතිනවා. තම දෑස් ඉදිරියේ යමෙකුට හිරිහැරයක් කරදරයක් වන අවස්ථාවක  ඔහු  මුදා ගැනීම මිස එය ජංගම දුරකතනයේ වීඩියෝ දර්ශනයක් බවට පත්කර ගන්නට වෙරදැරීම කෙතරම් උචිතදැයි අප විමසා බැලිය යුතුයි. එය  මිනීමරුවා අල්ලා ගැනීමට සාක්ෂියක්  වුවත් ඒ ‍වෙනුවට අපරාධය වැළැක්වීමට ක්‍රියාකළා නම් කොතරම් හොදදැයි   සිතෙන වාර අනන්තයි. පසුගියදා  සිදුවූ ඉතා අවාසනාවන්ත සිද්ධීන්වලින්  මේ බව මනාව පැහැදිලියි. මාතර ප්‍රදේශයේ පාසල් සිසුවෙකුට තවත් සිසුවෙකු පහරදෙන අවස්ථාවේ අවට සිටි සියලු දෙනා ඒ දෙස බලා සිටියා හැර එය වැළැක්වීමට මැදිහත් වූයේ නැහැ.

මෙම පාසල් සිසුවාගේ දේහය තිහගොඩ මාහේන ප්‍රදේශයේ පිහිටි නිවසට රැගෙන ආවේ ඊයේ රාත්‍රියේදීයි. සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාර සිසුවා සහ තවත් සිසුවෙකු මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට අද භාර වුණා. ප්‍රධාන සැකකරු ලබන මස තුන්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මොනරාගල ප්‍රදේශයේ දී තරුණයෙකු සිය පෙම්වතියගේ ගෙල සිරකර ඝාතනය කරන දර්ශන අන්තර්ජාලය ඔස්සේ නැරඹූ පිරිස දහස් ගණනක්. එවැනි දසුනක් ජංගම දුරකතනයෙන් පටිගත කිරීම හැර  සංවේදී එම අවස්ථාවට ප්‍රතිචාර දැක්වීමට තරම් සිද්ධිය ඇසින් දුටුවන් බුද්ධිමත් නොවීම කණගාටුවට කරුණක්. මෙවැනි ඝාතනයක් සිදු වීම වැළැක්වීම වෙනුවට එය වීඩියෝගත කර සමාජ ජාලවලට එක් කිරීම බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයට හේතු වී තිබෙනවා.

යම් අයෙකුගේ මැදිහත්වීමක් සිදු වූයේ නම්  මෙවැනි සිද්ධීන් මරණයෙන් කෙලවර නොවන්නට ඉඩ තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  සැකකරු මොණරාගල මහේස්‍ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. මෙම ඝාතනයට ලක්වූ තරුණියගේ අවසන් කටයුතු අද සිදුකෙරුණා.

මේ අතර පාසලේ සිදුවූ ගුටිබැට හුවමාරුවකින් හිසට බරපතල තුවාල සිදුවී රෝහල් ගතකළ බේරුවල ප්‍රදේශයේ පාසල් සිසුවෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙවැනි සිද්ධීන් පසුපස තරුණ පරපුර බුද්ධිමත් තීන්දු තීරණ ගැනීමෙන් දැඩිලෙස ඈත්ව ඇති බව පැහැදිලියි. ක්ෂණික කෝපය , දුරදිග නොබලා කටයුතු කිරීම ආදිය හේතුවෙන් තරුණ පරපුර දැඩි පිරිහීමට පත්වීම සමස්ත සමාජයේම අභාග්‍යයක්. නූතන තාක්ෂණය ,අධ්‍යාපනය සමග දරුවන් ගුණදහමෙන් ද පෝෂණය කිරීම දෙමව්පියන් ගුරුවරුන් ඇතුළු සියලු දෙනාගේ යුතුකම බවයි අප ඔබට සිහිපත් කර දෙන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2018 11:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo