පසුගිය වසර තුනහමාරක කාලය තුළ සංචාරක ක්ෂේත්රයේ සිදු වූ පසුබෑම යථා තත්ත්වයට පත්කර එහි ප්‍රවර්ධනයට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා.
මෙරට ආර්ථිකයට ප්රමුඛ දායකත්වයක් ලබා දෙන සංචාරක ක්ෂේත්රය නගාසිටුවීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මහින්ද රාජපක්ෂ මැතිතුමා පැහැදිලි කළා.
සංචාරක කර්මාන්තයේ නියැලෙන වෘත්තිකයින් හා ව්‍යාපාරිකයින් සමගයි සාකච්ඡාව පැවැත්වුණේ. එම ක්ෂේත්රයේ උද්ගත වෙමින් පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් එහි පසුබෑම පිළිබඳ ඔවුන් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළා. මෙරට සංචාරක ක්ෂේත්රයේ පසුබෑම හා ශ්‍රී ලංකාව පිළිබඳ විදේශවල ගෙන ගිය ප්රචාරක කටයුතුවල මන්දගාමී ස්වභාවය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරුණා.
මෙවැනි තත්ත්වයක් යළි ඇති නොවීමට වහා පියවර ගත යුතු බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙහිදී පෙන්වා දුන්නේ. සංචාරක කර්මාන්තය පිළිබඳ විදේශිකයින් තුළ ආකර්ෂණීය බවක් ඇතිවන ආකාරයේ ප්රචාරක වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. කලාපයේ අනෙකුත් රටවල් හා සසදන විට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ඉහළ බදු අය කිරීම පිළිබඳව ද මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විශේෂ අවධානය යොමු වුණා.
මෙරට සංචාරක ක්ෂේත්රයේ සෘජු හා වක්‍ර රැකියා ඉහළ නැංවීම සඳහා කෙටි හා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ඇති කිරීම පිළිබඳව ද යෝජනා වුණා. සංචාරක කර්මාන්තයට අදාළ හෝටල් රැසක් වැසී යමින් පවතින අතර එය වැළැක්වීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කිරීම ද සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමුවූ තවත් කරුණක්.