පාර්ලිමේන්තුවේ පසුගියදා ඇති වූ අර්බුදකාරී සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් සංගම් කිහිපයක් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් භාර දුන්නා.
ලංකා ස්වයං රැකියා නියුක්තිකයින්ගේ ත්‍රිරෝද රථ සම්මේලනය , සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය , ආපනශාලා හිමියන්ගේ සංගමය හා සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයයි පැමිණිල්ල භාරදුන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පාර්ලිමේන්තුවට පසුගිය 15 වනදා පිහියක් රැගෙන ආ ඡායාරූප මේ වන විට මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වී තිබෙනවා. පාර්ලිමේන්තුව තුළ අර්බුදකාරී තත්ත්වයක් පැවති අවස්ථාවේ මෙලෙස පිහියක් අතැතිව ඒ සදහා සහභාගි වීමේ අරමුණ කිසිවෙකුට හෝ හානියක් සිදු කිරීමට බව පැහැදිලි වන බවයි අදාළ පැමිණිල්ලේ සඳහන් වන්නේ. එය දණ්ඩ නීති සංග්‍රහය උල්ලංඝනය කරන්නා වූ වරදක් බැවින් ද මන්ත්‍රී වරප්‍රසාද යටතේ ආරක්ෂා කළ නොහැකි බැවින් ද ඒ සඳහා විධිමත් පරික්ෂණයක් පවත්වා නීතිය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කරන ලෙස අදාළ සංගම් ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජන් රාමනායක සහ පාලිත තෙවරප්පෙරුම තමාට තර්ජනය කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පොලීසියට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ද විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙසයි අදාළ සංගම් ඉල්ලා සිටින්නේ. පසුගිය 16 වනදා කතානායකවරයාට ආරක්ෂාව සලසමින් සිටි පොලිස් නිලධාරියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පහර දෙන ආකාරය පිළිබඳ දර්ශන ද මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බව පැමිණිල්ලේ සඳහන්. මේ අතර පසුගිය 18 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා මාධ්‍ය හමුවකදී හෙළිදරව් කළ වීඩියෝ දර්ශනයට අනුව පාර්ලිමේන්තුව තුළ මිනී මැරීමක් සිදු වුව ද ඒ පිළිබඳ තමාට කළ හැකි දෙයක් නැති බව කතානායකවරයා ප්‍රකාශ කරන බව ද එහි සඳහන්. මෙම තත්ත්වය අපරාධයකට අනුබල දීමක් හා සමාන වන අතර එය බරපතල තත්ත්වයක් බව ද පැමිණිල්ලේ වැඩිදුරටත් දක්වා තිබෙනවා. මෙම කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකර ඒ සඳහා විධිමත් පරික්ෂණයක් පවත්වා නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරන ලෙසයි අදාළ සංගම් ඉල්ලා සිටින්නේ.