THE COLOR PURPLE ප්රතිනිර්මාණයට සූදානම්…
Related Articles
1985 වසරේදී තිරගත කෙරුණු The Color Purple චිත්රපටය ජනප්රිය තරු රැසකගේ සිනමා දිවියේ සුවිශේෂි වූ සිනමා නිර්මාණයක්. ස්ටීවන් ස්පිල්බර්ග් විසින් අධ්යක්ෂණය කළ එය ඉහළ ආදායම් වාර්තා ලද සිනමා නිර්මාණයක්. අමෙරිකානු ඩොලර් මිලියන 15ක වියදමෙන් නිර්මාණය කෙරුණු එය අමෙරිකානු ඩොලර් මිලියන 142ක් වාර්තා කළා. වූෆි ගෝල්ඩ්බර්ග්, වැනී ග්ලොවර්, ඔෆ්රා වින්ෆ්රේ ඇතුළු පිරිසක් එහි රංගනයෙන් දායක වුණා. 1986 වසරේ ඔස්කාර් සම්මාන උලෙළේ නිර්දේශ නාම එකොළහකට ඇතුළත් වුවද එකදු සම්මානයක්වත් එයට හිමි වූයේ නැහැ.
වසර 33ට පසුව යළිත් The Color Purple චිත්රපටය ප්රතිනිර්මාණය කෙරෙන බව හොලිවුඩ් පුවත් ගෙන එනවා. ස්පිල්බර්ග් සමඟින් ඔෆ්රා වින්ෆ්රේ සහ 1985 වසරේ එයට නිෂ්පාදන දායකත්වය දුන් ක්වින්සි ජෝන්ස් විසින් නව චිත්රපටය නිෂ්පාදනය කරන්න සූදානම්. අමෙරිකානු ලේඛිකාවක වන ඇලිස් වෝකර් විසින් රචිත The Color Purple කෘතිය එයට පාදක වන අතර අප්රිකානු සම්භවයක් ඇති කළු ජාතික අමෙරිකානු තරුණියක 20 වැනි සියවසේදී මුහුණ දෙන අතවර, ගෘහස්ථ ප්රචණ්ඩත්වය, දුප්පත්කම, ජාතිවාදය වැනි දේ වටා එහි කතාව ගෙතී තිබෙනවා.