පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය හෙට දිනය තෙක් කල් තැබේ
Related Articles
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබද වැඩිදුර සළකා බැලීම හෙට පෙවරු 10 දක්වා කල් තැබුණා.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් 13 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට අද ඉදිරිපත් කෙරුණා. ඉන් දහයක් වෙනුවෙන් නීතිඥවරුන්ගේ වාචික දේශන අද අවසන් කළා. ඉතිරි පෙත්සම් තුන පිළිබද වාචික දේශන හෙට සිදු කිරීමට නියමිතයි. මෙහි මැදිහත්කාර පාර්ශ්ව ලෙස මහාචාර්ය චන්න ජයසුමන මහතා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා ඇතුළු පිරිසක් කටයුතු කිරීමට බලාපොරොත්තුව සිටිනවා.
එක්සත් ජාතික පක්ෂය , දෙමළ ජාතික සන්ධානය , ජනතා විමුක්ති පෙරමුණ , ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය , විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පක්ෂ සහ පුද්ගලයින් මෙම පෙත්සම් ගොනුකර තිබුණා. අගවිනිසුරු නලින් පෙරේරා මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම් සළකා බැලීම සිදු කෙරුණා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය අභියෝගයට ලක්කරමින් ගොනු කෙරුණු පෙත්සම් සම්බන්ධයෙන් පෙත්සම්කරුවන්ගේ සහ ඊට එරෙහි මැදිහත්කාර පාර්ශ්වයන් කරුණු දැක්වීම පස්වරු දෙකේ සිටයි සිදු කෙරුණේ. එහිදී නීතිපතිවරයා ද කරුණු දැක්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියා. නීතිපතිවරයා කියා සිටියේ වගඋත්තරකාර පාර්ශ්වයන්ගෙන් තමන්ට තවමත් උපදෙස් ලැබී නැති බැවින් කරුණු දැක්වීම සදහා තවදුරටත් කාලය අවශ්‍ය බවයි. මෙය ජනාධිපතිතුමා ගත් තීරණයක් අභියෝගයට ලක්කිරීමක් බවද නීතිපතිවරයා සදහන් කළා. පෙත්සම්කාර පාර්ශ්ව මෙන්ම ඊට එරෙහි පාර්ශ්ව ද අධිකරණ සංකීර්ණයේ දී මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පළකලා.