අධ්යක්ෂ සෝන් ඇන්ඩර්ස් සත්‍ය අත්දැකීමක් පාදක කරගෙන නිර්මාණය කළ ඉන්ස්ටන්ට් ෆැමිලි දරුවන් හදා ගැනීමට ගන්නා පති පතිනියන් සුලබ සමයක වැඩි ප්රජාවකගේ හදවත සංවේදී කරන සිනමා අත්දැකීමක් වනු නිසැකය.
පීට් මාර්ක් වාල්බර්ග් සහ එලී (රෝස් බයන්) පවුලක් ඇරැඹීමට සිතන්නේ දරුවකු හදා ගැනීමෙනි. පහළොස් හැවිරිදි විප්ලවකාර ගැටවරිය ඉසබෙලා මෝනර් සහ අනෙක් දරුවන් දෙදෙනා මුණගැසුණු පසු ඔවුනගේ වගකීම් විරහිත ආදර බන්ධනය අහෝසි වෙයි. දඩබ්බර දරුවන් තිදෙනෙක් සමඟ ක්ෂණිකවම එක් රැයකින් මාපියන් වී ‘පවුල ‘යන ඒකකය ස්ථාපිත කිරීමට පීට් සහ එලී වෙර දරන්නේ රසිකයන් සිනා සයුරක ද ගිල්වාලමිනි.
මවුපියන් වීමට කිසි දිනක පැතුම් නොපිරූ දෙදෙනකු එක් රැයකින් යුවළක ලෙස ආදරය ගොඩ නඟා ගනිමින් මවුපියන් වීමට දරන වෑයම සිත්තම් කර ඇති ආකාරය විචාරක අගැයුමට ද ලක්වී තිබේ.
බිඳ වැටෙන පවුල් සංස්ථා වැඩි කාල වකවානුවක ක්ෂණිකවම හෝ පවුලක් ගොඩ නැංවෙන සිනමා නිර්මාණ බිහිවීම ගෝලීය අවශ්‍යතාවකි.
ඉන්ස්ටන්ට් ෆැමිලි හොලිවුඩයට ගෙන එන සෝන් ඇන්ඩර්ස් සෙක්ස් ඩ්‍රයිව් (2008), හොරිබල් බොසර්ස් 2(2014), ඩැඩීස් හෝම් සිනමා පට පෙළ, ඩම්බ් ඇන්ඩ් ඩම්බර් සිනමාපට පෙළ ඇතුළු ආකර්ෂණීය සිනමා නිර්මාණ ගණනාවකම අදියුරුවරයා ය.
ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ මාර්ක් සහ රෝස් රංග වේදීන් ය. සැබෑ ජීවිතයේ සිව් දරු පියකු වන අමෙරිකානු නළු මාර්ක් බූගී නයිට්ස්, ද ඩිපාටඩ් වැනි සිනමා රංගනයන්ගෙන් විචාරක පැසසුමට නොමඳව පාත්රවූ අයෙකි.
දෙදරු මවක් වන රෝස් ඔස්ට්‍රේලියානු තාරකාවකි. ගෝල්ඩන් ග්ලෝබ් සම්මානලාභිනියක් වන රෝස් ට්‍රෝයි, එක්ස් – මෙන්, ස්පයි වැනි සිනමාපට ගණනාවකටම රංගනයෙන් දායකවී ඇත.
විප්ලවකාරිය ලෙස රඟන ඉසබෙලා මෝනර් තවමත් දාහත් හැවිරිදි වියේ පසුවන අමෙරිකානු නිළි ගායිකාවකි. ඇය රඟන්නේ ලිසී නම් වැඩිමල් දැරියගේ චරිතයයි. අනෙක් දරුවන් ලෙස රඟන්නේ ගුස්ටාවෝ ක්විරෝස් (ජුආන්) සහ ජුලියානා ගාමිස් (ලිටා)ය.
දරුවන් හදා ගැනීමට ගත් පසු පති පතිනි බැඳීම සහ මාපිය භාවය හඳුනා ගන්නා මාර්ක්ට සහ රෝස්ට දරුවන් තිදෙනා හදා වඩා ගැනීමට මඟ පෙන්වන සමාජ සේවිකාවගේ චරිතය රඟන්නේ ඔක්ටේවියා ස්පෙන්සර්ය.
ඔක්ටේවියා ඇකඩමි සිනමා සම්මාන, ගෝල්ඩන් ග්ලෝබ්, බැෆ්ටා සම්මානලාභිනියකි. ටිග් නෝටාරියෝ ද මෙහි නිරූපණය කරන්නේ සමාජ සේවිකාවකගේ චරිතයකි. මාර්ගෝ මාටින්ඩේල් සැන්ඩි චරිතය නිරූපණය කරන අතර ඇය ද සම්මානනීය තාරකාවකි. ඉන්ස්ටන්ට් ෆැමිලි නොවැම්බර් 16 දින තිරගතවන්නේ විඩෝව්ස්, ෆැන්ටාස්ටික් බීස්ට්ස්: ද ක්‍රයිම්ස් ඔෆ් ග්රින්ඩල්වොල්ඩ් සමඟය.
එළඹෙන නොවැම්බර් 16 වැනිදා තිරගතවීමට නියමිත මේ සිනමාපටය හොලිවුඩයට නව හාස්‍යෝත්පාදක ප්‍රවේශයක් ලබා දෙනු ඇති බව නම් නොඅනුමානයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/IUfZq3DUd3Y”]