Life+News The Official News Portal of Independent Television Network Ltd

වැසි සහිත කාලගුණය තවදුරටත්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 11:31

වැසි සහිත කාලගුණය තවදුරටත්

දිවයිනට නිරිත දෙසින් පවතින අඩු පීඩන තත්ත්වයේ බලපෑම් හේතුවෙන්  වැසි තත්ත්වය සහ අහස වළාකුලින් බර ස්වභාවය තවදුරටත් අපේක්ෂා කෙරෙනවා. අඩු පීඩන  තත්ත්වය ඉදිරි පැය 48 තුළ අන්දමන් සහ ඒ අසන්න ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වීමේ හැකියාවක් පවතනවා. එම පද්ධතිය බස්නාහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරන බැවින් මේ පිළිබද විශේෂ අවධානය යොමුකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.

ජල ගැලීම්වලින් ආපදාවට පත්වූවන්ට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩවම ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

අධික වර්ෂාවත් සමග වැලිකන්ද පූනානි වැවේ බැම්ම කැඩී යාමෙන් කොළඹ මඩකලපුව දුම්රිය මාර්ගයට හානි සිදු වුණා. ඒ හේතුවෙන් පොළොන්නරුව මඩකලපුව දුම්රිය ධාවන කටයුතු ඇණහිට තිබෙනවා. පූනානි දුම්රිය ස්ථානයට ආසන්න මීටර් 250 ක ප්‍රමාණයක් කැඩී ගොස් දුම්රිය මාර්ගයේ අඩි පහළොවක පමණ ගැඹුරු වළවල් හෑරී තිබෙනවා. වර්ෂාවද නොතකා එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙන අතර අද සවස් වන විට දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවයි දුම්රිය සේවකයන් පවසන්නේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 30  කට වැඩි ප්‍රමාණයක් වාන් දමන බව අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ ප්‍රසන්න ද සිල්වා මහතා පවසනවා. විශාල ප්‍රමාණයේ වැව් 6 ක් ඒ අතර වනවා. මධ්‍යම ප්‍රමාණයේ වැව් 30 ක් ද ඊට අයත්. ඒ සමග වැව් රැසක වාන් දොරටු විවර කර ඇති බැවින් සැළකිලිමත් වන ලෙස ජනතාවට අවධාරණය කෙරෙනවා.

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේ කොටසක් සහ නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට වී තිබෙනවා. ඒ හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර සැළකිලිමත්ව රිය ධාවනය කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ. නාවලපිටිය බස් නැවතුම්පොළේ සිට ගම්පොළ දෙසට ශ්‍රීපාද පිරිවෙන දක්වා මීටර් පන්සියයක් පමණ ජලයෙන් යට වී තිබෙනවා.

රන්ටැඹේ ජලාශයද වාන් දමමින් පවතිනවා. ඒ වසර හතරකට පසුවයි. මෙම ජලාශය වාන් දැමීමත් සමග වාහන ගමනාගමනය සදහා දිය පැන්නුමක් නිර්මාණය කර තිබෙනවා. මහියංගණයේ සිට හදගනාව හරහා රජ මාවතට පිවිසෙන රථ වාහන හා රන්ටැඹේ ශිෂ්‍යභට කදවුර කරා ගමන් ගන්නා රථවාහන මෙම දිය පැන්නුම භාවිත කරනු දැකිය හැකියි. එහිදී වඩාත් සැළකිලිමත්වන ලෙසයි වාරිමාර්ග නිලධාරීන් අවධාරණය කරන්නේ.

උමා ඔය ව්‍යාපෘතියට අයත් බදුල්ල අලිකොටආර ජලාශයද ප්‍රථම වරට ජලයෙන් පිරී පවතිනවා. අලුතෙන්ම නිර්මාණය කළ මෙම ජලාශය ජලයෙන් පිරී පැවතීමත් සමග එහි අඩුපාඩු ඇතිනම් නිරීක්ෂණය කිරීමට ඒ තුළින් අවස්ථාව සැලසෙන බවයි වාරිමාර්ග නිලධාරීන් පවසන්නේ. එසේම පළමු වරට පිටාර ගලන ජලාශයක් බැවින් ජලාශයට පහළ ප්‍රදේශවල ජනතාව මේ පිළිබද සැළකිලිමත් විය යුතු බවද ඔවුන් පවසනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 11:31
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්