fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අමාත්‍ය මණ්ඩල තීරණ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2018 13:08

අමාත්‍ය මණ්ඩල තීරණ

2018-11-05 දින පැවති අමාත්‍ය මණ්ඩලය රැස්වීමේදී ලැබූ තීරණ,

දේශගුණික විපර්යාස අවම කිරීමේ හවුල්කාරිත්ව ව්‍යාපෘතිය

– හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා ලෝක බැංකු ආධාර ය‍ටතේ දේශගුණික විපර්යාස අවම කිරීමේ හවුල්කාරිත්ව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. එම ව්‍යාපෘතිය නිසි පරිදි කළමනාකරණය කිරීම සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ නිලධාරින්ගේ හා අදාළ ක්ෂේත්‍රයන් පිළිබඳ විශේෂඥ දැනුම ඇති පුද්ගලයින්ගෙන් සමන්විත ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් ස්ථාපිත කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මූලස්ථාන ගොඩනැඟිල්ල ඉදි කිරීම

– ශ්‍රී ලංකා සමුද්‍රීය කලාපයේ සුරක්ෂිතභාවය සහ එම කලාපය තුළදී ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමේ කාර්යයෙහි නිරත වී සිටින ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු වඩාත් කාර්යක්ෂම හා ඵලදායි ලෙස සිදු කර ගැනීමට හැකි වන පරිදි රාජ්‍ය ආයතන සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම, රැස්වීම්, සම්මන්ත්‍රණ හා ද්වී පාර්ශ්වික නිල හමුව පැවැත්වීම සහ වෙරළාරක්ෂක මෙහෙයුම් කටයුතු හා පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම යන කාර්යයන් නිසි පරිදි සිදු කිරීම සඳහා මෙම දෙපාර්තමේන්තුව සතුව සියලු පහසුකම්වලින් යුත් මූලස්ථානයක් කොළඹ නගරයට ආසන්නයේ ස්ථාපිත කළ යුතු බවට තීරණය කර ඇත. ඒ අනුව, මෙම දෙපාර්තමේන්තුවේම කාර්යාලයක් දැනට ස්ථාපිත කර ඇති වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි භූමි භාගය තුළ මහල් 11කින් යුත් මූලස්ථාන ගොඩනැඟිල්ලක් ඉදි කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සීමාසහිත ජය බහළු පර්යන්ත පුද්ගලික සමාගම විසින් සපයනු ලබන සේවා ගාස්තු සංශෝධනය කිරීම

– ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සීමාසහිත ජය බහළු පර්යන්ත පුද්ගලික සමාගම විසින් සපයනු ලබන සේවා සඳහා අදාළ වන ගාස්තු වර්තමාන වෙළඳපළ තරගකාරිත්වය සහ වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීමට හැකි වන පරිදි සංශෝධනය කිරීමට සහ වරායන් අතර ඒකීය ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ආහාර බෝග අතිරික්තය හා හිඟය අවම කිරීම සඳහා බෝග පුරෝකථන තොරතුරු පද්ධතිය (CFIS) ශක්තිමත් කිරීම

– දිවයින පුරා වගා කරන ලද බෝගවල තත්ත්වය, කන්නමය වශයෙන් ඒවායේ අපේක්ෂිත නිෂ්පාදනය, බෝග හානි, අස්වනු නෙළීම යනාදිය පිළිබඳව දත්ත ඇතුළත් බෝග පුරෝකථන වාර්තා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන අතර, එම දත්ත ආහාර බෝග ආනයනය ඇතුළුව කාලීන තීරණ ගැනීම සඳහා දැනට භාවිතා කරනු ලබන විශ්වාසනීය දත්ත පදනම ලෙස සැලකිය හැකි වේ. මෙම දත්ත පද්ධතිය, බෝග පුරෝකථන තොරතුරු පද්ධතිය (Crop Forecasing Information System – CFIS) නැමැති මෘදුකාංගය මඟින් දැනට භාවිත කරනු ලබයි. මෙම දත්ත පදනම තවදුරටත් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස භාවිතයට ගැනීමේ අරමුණින්, දැනට රටපුරා ආවරණය වන පරිදි ස්ථාපිත කර ඇති ගොවිජන සේවා මධ්‍යස්ථාන, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාල සහ මහවැලි කලාප කාර්යාල සතුව ඇති සම්පත් භාවිත කරමින් වැඩිදියුණු කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලවල පහසුකම් වැඩි දියුණු කිරීම

– තරුණ පරපුර කෘෂි ක්ෂේත්‍රය වෙත යොමු කරගැනීම සඳහා නව තාක්ෂණය පිළිබඳ ඔවුන්ට අධ්‍යාපනය ලබා දෙමින් ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 6 මට්ටමේ කෘෂිකර්ම ඩිප්ලෝමාධාරීන් කුණ්ඩසාලේ, පැල්වෙහෙර, අගුණකොළපැලැස්ස, කරපිංච සහ වවුනියාව යන ප්‍රදේශවල ස්ථාපිත කෘෂිකර්ම විද්‍යාල 5ක් මඟින් බිහි කරනු ලබයි. මෙම කෘෂිකර්ම විද්‍යාලවලට බඳවාගනු ලබන ශිෂ්‍යයින් සංඛ්‍යාව තවදුරටත් පුළුල් කිරීමටත්, ඔවුන්ට වඩාත් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමටත් කටයුතු කිරීම හරහා රටේ කෘෂි නිෂ්පාදනය ප්‍රමානාත්මකව හා ගුණාත්මකව ඉහළ නැංවීම, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ සහයෝගයද සහිතව සිදු කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අත්හැර දමන ලද ග්‍රාමීය වැව් නැවත පිළිසකර කිරීම

– ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සුළු වාරිමාර්ග හා ප්‍රාථමික ජල මූලාශ්‍ර පිළිබඳ දත්ත පාදම අනුව දැනට වැව් 14,421ක් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින අතර අභ්‍යන්තර ගැටුම්, බෝවන රෝග පැතිරීම යනාදි හේතු මත ග්‍රාමීය වැව් 1,958ක් අතහැර දැමීමට ලක් වී ඇති බව හඳුනාගනු ලැබ තිබේ. මෙම වැව් ප්‍රතිසංස්කරණය කිරීම මඟින් නව වගා බිම් අක්කර 97,900ක් පමණ වගාවට යෙදවීමට හැකි වෙතැයි අපේක්ෂා කරනු ලැබේ. එයට අමතරව, දැනට අතහැර දමා ඇති මෙම වැව් ප්‍රතිසංස්කරණය කිරීම මඟින් භූගත ජලය පෝෂණය කිරීම, වර්තමාන මුඩු බිම්වල වනගහණය වර්ධනය කිරීම සහ වන සතුන්ගේ ප්‍රයෝජනය සඳහාද සැලසෙන සේවාව සැලකිල්ලට ගෙන, නැවත පිළිසකර කිරීම යෝග්‍ය යැයි තාක්ෂණික වශයෙන් තහවුරු කරනු ලබන වැව් පිළිසකර කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

‘උතුරු නැ‍ඟෙනහිර කෘෂි නවෝදය’ කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම

– උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වලින් ලබා ගත හැකි කෘෂි අස්වැන්න තවදුරටත් වර්ධනය කිරීම සඳහා අඩු ඵලදායිතාව, බීජ හිඟකම, ඉඩම් භාවිතයේ පවතින ගැටලු, කාලගුණ විපර්යාස, පසු අස්වනු කළමනාකරණ දුර්වලතා, අලෙවිකරණ හා අගය එකතු කිරීමේ දුෂ්කරතාවන්, ජල සම්පාදනයේ ගැටලු, වැව් ප්‍රතිසංස්කරණය හා කෘෂි මාර්ගවල ගැටලු, යටිතල පහසුකම් හිඟය සහ කෘෂි ක්ෂේත්‍රයට අදාළ නිලධාරින්ගේ හිඟය යනාදී අභියෝගයන් මඟ හරවා ගත යුතුව තිබෙන බවට හඳුනාගෙන තිබේ. ඒ අනුව, උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වලින් ජාතික ආර්ථිකයට ලබා දෙනු ලබන දායකත්වය තව දුරටත් ඉහළ නැංවීම හා එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ‘උතුරු නැ‍ඟෙනහිර කෘෂි නවෝදය’ කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩල පනත සංශෝධනය කිරීම

– වර්තමාන ආර්ථික හා ගෝලීය ප්‍රවණතාවන්ට ගැළපෙන පරිදි ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩල පනත සංශෝධනය කළ යුතුව ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩලයේ නාමය “ජාතික ආහාර ප්‍රවර්ධන හා කෘෂි අලෙවි මණ්ඩලය” ලෙස වෙනස් කිරීම හා මෙම මණ්ඩලයේ පොදු අරමුණු සංශෝධනය කිරීම සඳහා අදාළ නීති කෙටුම්පත් සම්පාදනය කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

‘ජෛව බලශක්ති 2022’ ආර්ථික සංවර්ධනය උදෙසා ජෛව බලශක්ති ව්‍යාපෘතිය

– ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා සඳහා ඛනිජ තෙල්, ගල් අඟුරු වැනි ඉන්ධන ආනයනය කිරීමට වැය වන විදේශ විනිමය ප්‍රමාණය අවම කරගැනීමේ අරමුණින් දේශීය බලශක්ති සම්පත් භාවිතය ප්‍රචලිත කිරීමේ වැදගත්කම හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ජෛව ස්කන්ධ (biomass) හෙවත් ශාඛ ද්‍රව්‍ය එකතු කිරීමේ හා සැපයීමේ මධ්‍යස්ථාන 50ක් රට පුරා ස්ථාපිත කිරීම හරහා නව ව්‍යවසායකයින් 1,000ක් ජෛව ස්කන්ධ වගාව සඳහා යොමු කිරීමට සහ කෘෂිකාර්මික අපද්‍රව්‍යයන් ජෛව ස්කන්ධ ලෙස සකස් කිරීම සඳහා යොමු කිරීමටත්, ඒ සඳහා නවීන තාක්ෂණය හඳුන්වාදීමටත් ‘ජෛව බලශක්ති 2022’ නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. රාජ්‍ය, පෞද්ගලික මෙන්ම විදේශ අංශයේද අරමුදල් සහය සහිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය (ආචාර්ය) රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සබරගමුව විශ්වවිද්‍යලයේ ව්‍යවහාරික විද්‍යා පීඨය සඳහා ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම

– සබරගමුව විශ්වවිද්‍යලයේ ව්‍යවහාරික විද්‍යා පීඨය සඳහා යෝජිත නව ගොඩනැඟිලි සංකීර්ණයෙහි අදියර II හි I කොටස වශයෙන් ඉදි කිරීමට නියමිත විද්‍යාගාර සහ දේශනශාලා ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 452.4ක මුදලකට සීමාසහිත සතුට බිල්ඩර්ස් පෞද්ගලික සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරුන් වශයෙන් නම් කිරීම

– වරාය හා නාවික කටයුතු අමාත්‍ය ගරු මහින්ද සමරසිංහ මැතිතුමා සහ ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ගරු කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරුන් වශයෙන් නම් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2018 13:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්