Life+News The Official News Portal of Independent Television Network Ltd

විවාහය, පුරුෂයාට ස්ති‍්‍රය පරිහරණය කළ හැකි බලපත‍්‍රයක්ද?

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 15:57

විවාහය, පුරුෂයාට ස්ති‍්‍රය පරිහරණය කළ හැකි බලපත‍්‍රයක්ද?

ස්ති‍්‍රයගේ විවාහ වන වයස් සීමාව අවුරුදු 12 දක්වා අඩු කරන ලෙස ඉල්ලා පසුගිය දිනවල එක්තරා සංවිධානයක් විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණා. එහි සටන් පාඨ පුවරු ඔසවාගෙන සිටියේ ද ලාබාල වයසේ කුඩා දැරියන්ය. එයට විරෝධය පළකරමින් විවිධ සංවිධාන හා පුද්ගලයන් කරළියට බැස තිබූ අතර මොවුන් ප‍්‍රශ්නය අල්ලාගෙන ඇත්තේ හා සටන් කරන්නේ ද එහි සැබෑ මූලය හඳුනාගෙනද?

 

විවාහය යනු කුමක් ද ස්ති‍්‍රයකට විවාහ ජීවිතයේ දී පවුල් සංස්ථාව තුළත් අත්පත් වන තත්ත්වය කුමක් ද යන්න සාකච්ඡාව තවමත් අප ඉදිරියේ සමාජය ඉදිරියේ විවෘත සාකච්ඡාවක් නොවේ. නමුත් එම සාකච්ඡාව පුළුල් කරගැනීම හා විවෘත කරගත යුතු සාකච්ඡාවක් වේ. එහිදී වයස අවුරුදු 12 වුවත් 18වුවත් ඉන් එහා වයසක දී වුවත් සියලු පවුල් සංස්ථාවන් තුළ ස්ත‍්‍රියට අත්පත්වන ඉරණම කුමක්දැයි අප සලකා බැලිය යුතුය.

 

ඉතිහාසය සිට මේ දක්වාමත් පුරුෂ මූලික සමාජයේ විවාහය යනු ස්ති‍්‍රය ලිංගික මෙවලමක් ලෙස පාවිච්චි කළ හැකි බලපත‍්‍රයකි. ගෘහමය වහල්භාවයේ බැම්මෙන් සදාතනිකව බැඳ තබන රැහැනකි. ධනේශ්වර සමාජයේ ස්ති‍්‍රය ලිංගික මෙවලමකි.  ඕනෑම වයස් සීමාවකින් තොරව පාවිච්චි කළ හැකි උපකරණයකි. එයට නීතිමය රැකවරණය සැලසෙන එක් ආකාරයක් බවට විවාහය පත්ව ඇත. එබැවින් කුමන වයස දී විවාහ වුවත් ස්ති‍්‍රය යනු පුරුෂයාගේ ලිංගික ගොදුරකි.

 

එයට ලඟම උදාහරණය වන්නේ පසුගිය දිනයක උතුරු පළාතෙන් ඇසුණු පුවතක්.  එහිදී එක් ස්ත‍්‍රියක් පොලීසියට ගොස් පැමිණිලි කර තිබුණේ තම ස්වාමියාගේ ලිංගික වධ හිංසා තවදුරත් දරාගත නොහැකි බවටයි. එසේ පවසා තිබුණේ ද දරුවන් තිදෙනෙකු ද ලැබී වසර 12කට පසුවයි.

 

කුඩා කල සිටම ස්ත‍්‍රී මානසිකත්වය ගොඩ නගන ආකාරයත්  විවාහ දිවියට ඇතුල්වන විට ඇයට පවුලේ ඥාතීන්ගෙන් වැඩිහිටියන්ගෙන් සහ දෙමාපියන්ගෙන් ලැබෙන සියලු අවවාද අනුශාසනාවලත් මූලික හරය වන්නේ විවාහයෙන් පසුව ගත කරන ජීවිතය සැප හෝ දුක එක ලෙස දරා ගනිමින් පවුලේ ගෞරවය ආරක්ෂා කරමින් ජීවත් වන ලෙසය. මෙම තත්ත්වය ස්ත‍්‍රියට පමණක් අත්වන්නකි. ඇය පමණක් ඉටු කළ යුතු යුතුකමකි. එය ඇයට කෙතරම් පීඩාවක් වුවත් එය දරාගත යුතු බවටත් ඉවසිය යුතු බවටත් ඇයට අවවාද අනුශාසනා දෙන්නේ වැඩිහිටි ස්ත‍්‍රීන් විසින්ම වීම ද මෙහිදී සැලකිල්ලට ගත යුතුය.

 

මෙයට ජාති ආගම් කුල භේද ආදළ වන්නේ නැත. ඇයට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය, තමන් කැමති ලෙස ජීවත් වීමේ අයිතිය රැකියාවක් කිරීමේ අයිතිය, තමන්ගේ ශරීරය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ අයිතිය වැනි මේ සියලු අයිතීන් පුරුෂ මූලික මනෝභාවයන් ඇති සමාජයක වයස අවුරුදු 12න් විවාහ කර දීමේ අවසරය ආගමික නීති මුවාවෙන් ඉල්ලා සිටීම අනුව වේලාසනම මාංශ වෙළෙඳාම සඳහා අවසරය ඉල්ලීමකි.

 

නීතියේ පිළිසරණ පැතීම. ස්ති‍්‍රයගේ සමාජ  පැවැත්ම සහමුලින්ම ප‍්‍රතික්ෂේප කිරීම. ස්ත‍්‍රීන් යනු දරුවන් වදන යන්ත‍්‍ර ලෙස සලකා එයට ආගමික සංස්ථාවේ අනුමැතිය ද ලබා ගනිමින් සංස්කෘතික තත්ත්ව තුළ එයට යටත් විය යුතුයි යන පදනමේ පිහිටා ගෙන එක් පැත්තකින් අරගලයක් සිදුවෙද්දී එය කෙතරම් සාධාරණ ද යන්න විමසා බැලිය යුතු සේම එයට විරුද්ධව අදහස් ප‍්‍රකාශ කරන්නන්ට එවැනි ම පුරුෂ මූලික මනෝභාවයන් සහිත විවාහය තුළදී මෙන්ම පොදුවේ දී ස්ත‍්‍රී පීඩාවේ පීඩකයන් වීම ද හාස්‍යජනකය.

 

කෙසේ වෙතත් වයස අවුරුදු 12 යනු තවමත් ඉතා කුඩා දරුවන් ය. ඇයට වැඩිවියට පත් වූවා වුවත් දරුවෙකු ලැබීමට හෝ ලිංගික ජීවිතය පිළිබඳ අවබෝධයක් හෝ ඒ ගැන සූදානමක් හෝ ඇයට නැත. විවාහය හෝ ලිංගිකත්වය ගැන ඉතා කුඩා කියවීමක් හෝ ඇයට නැත. ඇය ඇගේ ජීවිතයේ සියලු අයිතිවාසිකම් එක් පිරිමියෙකුගේ උවමනාවන් වෙනුවෙන් පූජා කළ යුතුය. අප හඬ නැගිය යුතුවන්නේ කිසිඳු ජාතියකට හෝ ආගමකට යටත්ව නොව මෙම තත්ත්ව තුළ පීඩාවේ ගොදුර බවට පත්වන්නේ ස්ති‍්‍රයක් ය යන අවබෝධය සහිතවය.එහෙත් එයට අදාළ සාකච්ඡාවක් මෙවැනි සමාජයක මතු වන්නේ නැත.

 

එලෙසම ඇයට අධ්‍යාපනය ලැබීමේ අයිතිය, දැරුවෙකු ලෙස කාලය ගත කිරීමට ඇති අයිතිය ඇගෙන් උදුරාගැනීම ගැනද සංකච්ඡාවක් නැත. ආගම් භේදය හෝ ජාති භේදය පටලවා ගන්නවා වෙනුවට ස්ත‍්‍රී පීඩාව කොතෙක් දුරට මේ සමාජය තුළ ස්ථානගත වී ඇත් ද යන්න එයට ස්ති‍්‍රය ගොදුරුවීම වලක්වා ගන්නේ කෙසේද යන්නත් සමාජය තුළ විශේෂයෙන් සාකච්ඡාවට ගත යුතුය. නමුත් අධ්‍යාපනයේ අයිතිය, තමන් කැමති ලෙස ජීවත් වීමේ අයිතිය, ශරීරය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ අයිතිය බරපතල ලෙස උල්ලංඝණය වන සමාජයක දී වයස් සීමාව පමණක් ප‍්‍රශ්නයක් ලෙස ගැනීමට පෙළඹෙන බොහෝ දෙනාගේ එකී පදනම ද පුරුෂ මූලික වීම ද විවෘතව සංවාදයට ගත යුතුය.

 

සමාජයක ස්ති‍්‍රයට සියලු තැන් ලැබෙන්නේ දෙවැනි පුරවැසියෙකුගේ තත්ත්වයයි. බොහෝ සාකච්ඡාවලදී මතුවන ආකාරයට ඇයට නිදහස ලැබී ඇති බවත් රැකියා අවස්ථා හිමි වී ඇති බවත් කියන සමාජය තවමත් ඇය  බැඳ දමා ඇති ගෘහමය ශ‍්‍රම කටයුතු පිළිබඳව කතා කරන්නේ නැත. ඇයට පෞද්ගලික අංශය වේවා රජයේ වේවා රැකියාව අවසන්ව නැවත දිව යන්නට සිදුවන්නේ ගෘහමය කටයුතු ඇයගේ කටයුත්තක් වී ඇති බැවිනි.  සමාජයේ බොහෝ දෙනා සිතන්නේ ඒවා ගැහැනුන්ගේ වැඩ ලෙසය. ශ‍්‍රමය බෙදා ඇත්තේ ම ගැහැනු වැඩ සහ පිරිමි වැඩ ලෙස අර්ථ ගන්වමිනි. එවැනි වටපිටාවක ඇය දරුවන් වදන යන්ත‍්‍රයකි. පිරිමියාගේ ලිංගික අවශ්‍යතා සපුරන මෙවලමකි. නිවසේ දහසකුත් දේ ඉටු කරන වහලියකි. එය ගැහැණියගේ උරුමය සහ කරුමය ලෙස පිළිගත යුතුය.  ඒ ධනේශ්වර සමාජයේ මනෝභාවයයි.

 

ඉදින් මේ සඳහා අදාළ කරන සැබෑ සාකච්ඡාවක් වෙනුවට වෙනත් හේතු පදනම් කරගෙන ප‍්‍රශ්නයේ වලිගයෙන් අල්ලාගෙන බොහෝ දෙනා තම තමන්ගේ අවශ්‍යතාවන් උවමනාවන් සමාජගත කරන බව පෙනෙන්නට තිබේ. මේ වෙනස් කිරීමට අදාළ වන භෞතික මැදිහත් වීමක් නොකරන  මේ පුරුෂ මුලික සමාජයේ සියලු දෙනා ඒ පාදක කර ගනිමින් ඉතා සුළු සිදුවීමකදී වුව අවි අමෝරා ගනිති. සටනට බසිති. නමුත් තමන් ද ඒ අයුරින්ම හෝ එසේත් නැතිනම් ඊට වෙනස්ව හෝ ස්ත‍්‍රී පීඩකයන් බව ඔවුන්ට නොතේරෙයි.

 

එබැවින් මෙම තත්ත්වයන් හි දී අපට එවැනි පුද්ගලයන්ගෙන් මෙන්ම සංවිධානවලින් ද ඇසීමට එක් ප‍්‍රශ්නයක් තිබෙනවා. එය නම් ඔබ ස්ති‍්‍රයගේ ශරීරය පිළිබඳව ඇයට ඇති අයිතිය පිළිගන්නවාද?, ඇය ධනේශ්වර සමාජයේ සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව ලිංගික මෙවලමක් බව ඔබ පිළිගන්නවා ද?, විවාහ ජිවිතය තුළ ස්ති‍්‍රය හිංසනයට ලක් වන බව ඔබ පිළිගන්නවාද?, විවාහය යනු පුරුෂයාට තමන් කැමති ලෙස ස්ති‍්‍රය පරිහරණය කළ හැකි බලපත‍්‍රයක් බව ඔබ පිළිගන්නවාද?

 

එසේ නම් ස්තී‍්‍ර පුරුෂ භේදයකින් තොරව සටන ඇත්තේ වෙනත් තැනකය. සමාජයේ සිදුවන කුඩා කුඩා සිදුවීම්වලට පමණක් ප‍්‍රතිචාර දැක්වීමෙන් එම ගැටලුව නිරාකරණය වන්නේ නැත. ඒ සඳහා ඉන් එහාට ගිය මිනිස් මනෝභාව ආකල්ප හා සමාජ පසුගාමීත්වය පරාජය කළ හැකි දියුණු සංවාදයක් මෙන්ම මැදිහත් වීමක් අවශ්‍යය.

 

සැබෑවටම මෙය වෙනස් කළ හැක්කේ සමාජයක සාතිශය බහුතරයක් ස්ත‍්‍රීන් මෙන්ම පුරුෂයන් මෙම තත්ත්වය නිවැරදිව අවබෝධ කරගත හොත් පමණි. ඒ සඳහා වෙන්ව නොව එක්ව කරන සටනක් අප ඉදිරියේ තිබේ. එයට ජාති ආගම් කුලභේද හෝ පාට පක්ෂ භේදයක් අවශ්‍ය නොවේ. තනිව කරන සටනක් නොව එක්ව කරන සටනකින් මිස මෙම තත්ත්වය වෙනස් කිරීමට නොහැකි වන අතර ස්ත‍්‍රියගේ ජීවිතයේ සැබෑ ගරුත්වය හා අර්ථය ඇයට හිමි වන්නේද එවන් මැදිහත් වීමකින්ම පමණි.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 15:57
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්