ඉන්ධන මෙන්ම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල වහාම ක්‍රියාත්මකවන පරිදී අඩු කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. පීඩාවට පත්ව සිටි ජනතාවට සහන ලබා දෙන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ ප්‍රකාශයට අනුව මෙම මිල අඩුකිරීම් සිදු කළා.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 145ක් දක්වා අඩුකර තිබෙනවා. පසුගිය රජය සමයේ මෙය අලෙවි කළේ රුපියල් 155කටයි. මේ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10ක් අඩු කිරීමට වත්මන් රජය පියවර ගත්තා. රුපියල් 123ක් ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 116ක් දක්වා අඩුකල බව බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනවා. ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් අඩුකර තිබෙනවා. ත්‍රී රෝද රථ සහ කුඩා කෘෂිකාර්මික යන්ත්‍ර සදහා යොදන ටීටූ ලිහිසි තෙල් ඇතුළු ලිහිසි තෙල් ලීටරයක මිල රුපියල් 10කින් අඩුකර තිබෙනවා. මෙම මිල අඩුකිරීම් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි. ඒ සමගම පැවති මාසික ඉන්ධන මිල සූත්‍රය වෙනුවට පිරිවැය මත පදනම් වූ ප්‍රායෝගික මිල ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරෙනවා.
භාණ්ඩ කිහිපයකට පනවා තිබූ විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද අඩු කිරීමට ද රජය තීරණය කළා. මේ අනුව පරිප්පු හා කඩල කිලෝග්රෑමයකට රුපියල් 5 බැගින්ද උඳු කිලෝග්රෑමයකට රුපියල් 25කින් ද විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද අඩුකර තිබෙනවා. තිරිගු ඇට කිලෝග්රෑමයකට පැවති රුපියල් 6ක් වූ තීරු බදු සහනය රුපියල් 9ක් දක්වා වැඩිකළා. සීනි සදහා විශේෂ වෙළද භාණ්ඩ බද්ද කිලෝග්රෑමයකට රුපියල් 10කින් අඩුකර තිබෙනවා.
දේශීය ගොවීන් නිෂ්පාදනය කරන වී, ළූණු සහ අල සදහා සහතික මිල ක්‍රමවේදයක් හදුන්වාදීමට ද රජය පියවර ගෙන තිබෙනවා.
ගොවීන්ට සහ කුඩා වී මෝල් හිමියන්ට පසුගිය කාලයේ දී දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවුණා. පසුගිය වසර තුනක කාලය තුළ වාණිජ බැංකු මගින් ලබාදුන් රුපියල් මිලියන 50ක උපරිමයක් දක්වා වන ණය මුදලක් සදහා වූ පොලී මෙන්ම දඩ මුදල් සම්පූර්ණයෙන්ම කපා හැරෙනවා. එම පිරිවැය රජය විසින් දරණ බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කරන්නේ.
සමෘද්ධි ප්‍රතිලාභීන්ට සමෘද්ධි බැංකු මගින් එදිනෙදා කටයුතු සදහා දෙන ණය අත්තිකාරම් උපරිම සීමාව රුපියල් දස දහසකින් වැඩිකර තිබෙනවා. වී වගාව සදහා ලබාදෙන කිලෝග්‍රෑම් 50ක පොහොර බෑගයක මිල රුපියල් 500ක් ලෙස පවත්වාගෙන යාමට රජය තීරණය කළා. අනෙකුත් බෝග සදහා කිලෝග්‍රෑම් 50 ක පොහොර බෑගයක සහන මිල රුපියල් 1500 සිට රුපියල් 1000 දක්වා අඩුකලා.
සියයට 14 ක සහනදායි ආදායම් බදු අනුපාතය වර්තමානයේ දී අදාළ වන්නේ කෘෂි කාර්මික කටයුතුවල නිරත සමාගම්වලට පමණයි. කෘෂිකාර්මික ව්‍යාපාරවල නියුතු අනෙකුත් පුද්ගලයන්ගේ කෘෂිකාර්මික ආදායම් මත බද්ද පවතින උපරිම අනුපාතය වන සියයට 24 සිට සියයට 14 දක්වා අඩුකළා.
සුළු හා මධ්යපරිපාන ව්‍යවසායකයන් යන කාන්ඩ යටතේ සියයට 14ක සහනදායි අදායම් බදු අනුපාතය අදාළ වන්නේ සමාගම් සදහා පමණයි. මෙම අනුපාතය වෘත්තීය සේවා සපයන්නන් ද ඇතුළුව සියලු තැනැත්තන්ට අදාළකර තිබෙනවා. ඒ අනුව වෘත්තීය සේවා සදහා වන උපරිම බදු අනුපාතය සියයට 24 සිට සියයට 14 දක්වා අඩුකළා.
මුල්‍ය ආයතනයක පවත්වාගෙන යන ඉතිරිකිරීම් සහ ස්ථාවර තැන්පතු මත ලැබෙන පොලිය රදවා ගැනීමේ බදු වලින් නිදහස් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවෙන් පිටතට සපයන සේවාවන් මත විදේශ ව්‍යවහාර මුදලින් කරන ඉපැයීම් මෙරටට ප්‍රේෂණය කිරීම දිරිගැන්වීමට ද රජය පියවර ගත්තා. එම දිරිගැන්වීම සදහා දේශීය ව්‍යවසායකයන්, වෘත්තිකයන් සහ විදේශයන් හි සේවයකරන තැනැත්තන් ප්‍රේෂණය කරන මුදල් ආදායම් බද්දෙන් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.
එකතුකළ අගය මත බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු සරළ කිරීම මගින් අධික ලෙස පනවා ඇති වක්‍ර බදු හේතුවෙන් ජනතාවට ඇතිවී තිබෙන පීඩනය සමනය කිරීම කෙරෙහිද වත්මන් රජයේ අවධානය යොමුවුණා. ඒ අනුව වැට් බද්දට යටත්වීමට අවශ්‍ය සැපයුම් සීමාව වර්ෂයකට රුපියල් මිලියන 12 සිට රුපියල් මිලියන 24 දක්වා වැඩි කිරීමට තීරණය කළා.
කුඩා පරිමාණ වෙළෙද ව්‍යාපාරිකයන් සදහා සහන සලසමින් තොග සහ සිල්ලර වෙළෙද අංශය වැට් බද්දට යටත්වීමට අවශ්‍ය සැපයුම් සීමාව ද වර්ෂයකට රුපියල් මිලියන 50 සිට රුපියල් මිලියන 100 දක්වා වැඩි කළා.
දේශීය ඉදිකිරීම් කර්මාන්තයට සහාය වීම සදහා ඉරූ දැව ආනයනය මත වැට්බදු අනුපාතය සියයට 15 සිට සියයට 5 දක්වා අඩුකර තිබෙනවා.
සුළු හා මධ්‍යපරිමාණ ඇගලුම් නිශ්පාදකයින්ට ප්රතිලාභ ලබා දීම සදහා ආනයනික රෙදි පිළි මත පනවා තිබූ වැට් බද්ද ඉවත්කළා.
දුරකතන සේවාවන් සදහා පනවා ඇති ඉහළ බදු සැලකිල්ලට ගෙන සියයට 25ක් වන විදුලි සන්දේශ බද්ද සියයට 15ක් දක්වා අඩුකිරීමට රජය තීරණය කළා.
නිෂ්පාදනය දිරි ගැන්වීම හා බදු ක්‍රමය සරළ කිරීමේ අරමුණ ඇතිව රජය මෙම සහන සැලසීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. මේ හරහා නිවසේ ආර්ථිකය ශක්තිමත් වනු ඇති. එමෙන්ම බදු ක්‍රමය සදහා යෝජිත සංශෝධන මගින් මෙරට සිදු කෙරෙන ප්‍රේෂණ මෙන්ම ඉතිරිකිරීම් දිරි ගැන්වීම රජයේ අපේක්ෂාවයි.
කැබිනට් අමාත්‍යධුර අඩුකිරීමෙන් සහ ප්‍රාග්ධන වියදම් ව්‍යාපෘති යළි සුපරීක්ෂණය මගින් වියදම් අඩු කිරීමට වත්මන් රජය අපේක්ෂා කරනවා. ආර්ථිකයේ ස්ථාවරත්වය ඇති කිරීම රජයේ තවත් අපේක්ෂාවක්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස මෙම ප්‍රතිපත්තිමය කරුනු ක්‍රියාත්මක කිරිමට ද එම අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා. මෙම සංශෝධනවලට අදාළ ගැසට් නිවේදන නිකුත් කර තිබෙනවා.