Life+News The Official News Portal of Independent Television Network Ltd

මියගිය අයට නැවත පණ එන්න පුළුවන්ද?

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2018 12:12

මියගිය අයට නැවත පණ එන්න පුළුවන්ද?

මියගිය අයෙකුට නැවත පණ ලැබීම අපි චිත්‍රපටවලින් දැකලා තියෙන නමුත් සත්‍ය වශයෙන්ම නම් එවන් දෙයක් සිදුවීම යථාර්ථයක් වන්නේ නැහැ. පුද්ගලයෙකු මියයෑම කියලා කියන්නේ ඔහුගේ සිරුරේ සියලු ජෛව තාක්ෂණ ක්‍රියා ස්ථිරවම නතරවීමයි. එලෙස කවර හෝ හේතුවක් මත සිරුරේ ප්‍රධාන පද්ධතීන්ගේ ක්‍රියාකාරිත්වය නතරවෙනවා. රුධිර සංසරණ පද්ධතිය, ස්වසන පද්ධතිය සහ ස්නායු පද්ධතිය මේ අතුරින් ප්‍රධාන තැනක් ගන්නේ එම පද්ධතිවල ක්‍රියාකාරිත්වය නතරව ඇතිදැයි සරල නිරීක්ෂණයන් මගින් තහවුරු කර ගත හැකි බැවිනුයි. එමගින් එම පුද්ගලයා මියගොස් ඇතිබව තීරණය කරනවා.

ඒ අනුව යම් අයෙකු මියගොස් ඇතිදැයි තීරණය කරන්න ඔහුගේ ස්වසනය නතරව තිබිය යුතුයි. එනම් හුස්මගැනීම සහ පිටකිරීම නතරව තිබිය යුතුයි. එය පපුවට අතතබා එහි උස් පහත්වීම නිරීක්ෂණය කිරීම මගින් ද නාසය අසලට අතැඟිලි තබා ආශ්වාස ප්‍රශ්වාස කිරිමේ දී ඇතිවන වායු චලනයන් සංවේදනය කිරීම මගින්ද තහවුරු කළ හැකි වනවා.

මීළඟට නිරීක්ෂණය කරන්නේ රුධිර සංසරණ පද්ධතියයි. එහිදී අත් පාවල නාඩි අල්ලා බලා නාඩි වැටේදැයි පරික්ෂාකර බලනවා. එසේම හෘද ස්පන්දනය සිදුවේදැයි වෙද නළාවක් මගින් පරීක්ෂාකර බලනවා.

කෙසේ වෙතත් මෙම පරීක්ෂා එය සිදුකරන පුද්ගලයාගේ පළපුරුද්ද අත්දැකිම් සහ සංවේදිතාව මත රඳාපවතිනවා. මක්නිසාද යත් මරණාසන්න පුද්ගලයන්ගේ හෝ අසාධ්‍ය අයගේ ස්වසනය සහ රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය ඉතා අඩාලව පවතින නිසා නාඩි වැටීම, හෘද ස්පන්දනය ආදිය ඉතා දුර්වලව පවතින නිසා එය නිවැරදිව ග්‍රහනය කරගැනීම පලපුරුද්ද අඩු හෝ ඉන්ද්‍රියයන්ගේ සංවේදීතාව අඩු අයට තරමක් අපහසු නිසයි.

මීළඟට සළකා බලන්නේ ලබන්නේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වයයි. එහිදී තදින් වේදනාවක් එන පරිදි අතින් සිරුර තද කිරීමක් සිදුකරනවා. එවිට පුද්ගලයා මියගොස් නම් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. යමෙක් සිහිසුන් තත්ත්වයේ සිටියත් එවන් තද වේදනාවකට සිරුරේ චලනයන් මගින් ප්‍රතිචාර දක්වනවා. මීළඟට බලන්නේ ඇස්වල කණීනිකාව ස්ථිරවම විස්තාරණය වෙලා තියෙනවාද කියායි. ඇසට වැටෙන ආලෝකයේ ප්‍රමාණය මත මෙම කුණීතය විස්තාරණය හෝ හැකිළීම සිදුවනවා.

නමුත් යමෙක් මියගිය විට කුණීතය ආලෝකයට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒ වෙනුවට ආලෝකය ගැන නොතකා දිගටම විස්තාරණය වී තිබීම තමා සිදුවන්නේ. එහෙම වෙන්නේ මොළය මිය ගියාමයි. විදුලි පන්දමක ආලෝකය ඇස වෙත යොමු කළ විට කුණීතය ඊට ප්‍රතිචාර නොදක්වා ස්ථිරවම විස්තාරණය වී තිබේ නම් එම තැනැත්තා මියගිය අයෙකු විදියට සලකනවා.

නමුත් ඇසේ කුණිතය මෙලෙස ස්ථිර විස්තාරණය වීම තාවකාලිකව සිදුවීමට හැකියාවක් ඇති ශාරීරික තත්ත්වයන් ද තියෙනවා. ඒ අනුව ඇස් දෙකටම කෘත්‍රිම කාච දමා ඇති අය, ඇඩ්‍රිනලීන් නම් ඖෂධය ලබා දී ඇති අය,ඇඩ්‍රිනලින් ශ්‍රාවයකරන අසාමාන්‍ය ගැටිත්තක් සිරුරේ තිබෙන අය,ඇට්‍රොපින් නම් ඖෂධය ලබාදුන් අය,තුන්වැනි කපාල ස්නායුව අකර්මන්‍ය වීම සිදුව ඇති අය,මොළයේ ඇතිවන ආබාධ සහ හිසතුළ වන රුධිරය ගැලීම් සහිත අය ,සයනයිඩ් වැනි වස ශරීරගත වූ අය,අධික ශීතලට ගොදුරු වූ අය සහ සමහර සිහි නැති කිරීමේ ඖෂධ ලබාදුන් අයවලුන්ගේත් මෙම තත්ත්වය දැකිය හැකි වනවා.

සාමාන්‍යයෙන් මරණයක් බවට නිගමනය කිරීමට වෛද්‍යවරයෙකුම අවශ්‍ය බවට නීති ප්‍රතිපාදන නැහැ. ඒ නිසා නිවෙස්වල ස්වභාවිකව මියයන අය පිළිබඳව නිගමනය කරන්නේ බොහෝවිට ඥාතීන් හෝ අසල්වැසියන්. ඉන්පසු එය ප්‍රදේශයේ ග්‍රාම නිළධාරීට දන්වා මරණය ස්ථීර කොට ප්‍රකාශයක් ඔහුගෙන් ලබාගෙන ප්‍රදේශයේ මරණ රෙජිස්ට්‍රාර්ට එය ලබාදී මරණ සහතිකය ලබාගතහැකි වනවා.

නමුත් රෝහවල සිදුවන හදිසි මරණවල දී නම් වෛද්‍යවරු රෝගියාගේ ජීවිතය බේරාගැනීම සඳහා ඉහත දැක්වූ ඇඩ්‍රිනලින්,” සහ ඇට්‍රොපින් ඖෂධ අවසන් මොහොතේ දී ලබාදෙනවා. නමුත් එහිදී හෘදයේ කම්පන මනින ඊ.සී.ජී යන්ත්‍රයක් මෙන්ම රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය මනින යන්ත්‍රයක් රෝගියාට සවිකර තිබෙන නිසා එමගින් ද රෝගියා මියගොස් ඇති බව තහවුරු කරගත හැකි වනවා.

කෙසේ වෙතත් යමෙකු ම්යගිය බව ස්ථිරකිරීම එතරම් පහසු දෙයක් නොවන බව මේ අනුව පැහැදිලි වනවා. මේ නිසාවෙන්ම තමා රෝහල්වලදී මියගිය පුද්ගලයාගේ මරණය ඉහත පරීක්ෂාවලින් තහවුරු කළත්, එම සිරුර මෘතශරීරාගාරයට නොයවා තවත් පැය දෙකක් පමණ නිරීක්ෂණය කරන්නේ. යමෙකුගේ හදවත සහ පෙනහලුවල ක්‍රියාකාරිත්වය නතරවුණු මොහොතේ සිට විනාඩි 10ක් පමණ මොළයේ ක්‍රියාකාරිත්වය ක්‍රමිකව අඩාලවෙමින් පවත්වාගෙන යනු ලබනවා.

මොළය මියගිය පසුවයි යමෙක් මියගොස් ඇති බවට ස්ථිර කරන්නේ. එසේ මරණය සිදුවූවිට සිරුරේ සියලු මාංශපේශීන් ඉහිල්වෙනවා. එවිට සිරුර කිසිදු ශක්තියක් නොමැතිවන නිසා, සැහැල්ලුවෙන් වෙනත් අයෙකුට එහි අත් පා නමන්න දිගහරින්න පුලුවන්. ඇසිපිය ඉහිල්වීම නිසා ඇස් විවර වනවා. ඇස්වල කුණිතයේ දීප්තිමත්බව නැතිව යනවා. ඇස්වල කුණීතය ස්ථිරවම විස්ථාරනය වනවා.

සම සිරුර තුළට හැකිළෙනවා එවිට මුහුණේ හනු සහ සිරුරේ සන්ධි සහ ඇට වඩාත් ප්‍රමුඛව පෙනෙන්න පටන්ගන්නවා. සිරුර සුදුමැලි වන්නේ රුධිර සංසරණ පද්ධතියේ කේශනාලිකාවල ඇති රුධිරය ප්‍රධාන ශිරා වෙත ගලායෑම නිසයි. මේ සමඟම සිරුරේ උෂ්ණත්වය ක්‍රමයෙන් පරිසර උෂ්ණත්වය දක්වා පහළ බසින්නට පටන්ගන්නවා.

සාමාන්‍යයෙන් මරණයෙන් පළමුවැනි පැය තුළ සෙල්සියස් අංශක 2ක් ද ඉන්පසු සෑම පැයකටම සෙල්සියස් අංශක 1 බැගිනුත් සිරුරේ උෂ්ණත්වය අඩුවෙනවා. සිරුරේ කපාටවල ක්‍රියාකාරිත්වය නතරවීම නිසා ඉබේම මළ මූත්‍ර සහ පිරිමි අයගේ ශුක්‍ර තරලයන් පිටතට වහනය වනවා. එසේම ආමාශගත ද්‍රව්‍ය මුඛයෙන් ඉවතට ගලා ඒමටත් පුලුවන්.

මරණයෙන් පැය 2ක් ගතවූ පසුව, කේශනාලිකාවලින් පිටතට පැමිනෙන රුධිරය එහි බර හේතුවෙන් සිරුර ස්ථානගතකර ඇති විදිය අනුව පොළොවට ළඟම ඇති සිරුරේ සමට යටින් එකතුවී තද පැහැයක් ඇතිකරනවා. මේ අනුව උඩුබැලි අතට තබා ඇති සිරුරක නම් සිරුරේ කොන්ද අශ්‍රිත පිටුපස දිගටම පාද දක්වාම මෙලෙස රුධිරය එකතුවීම නිසා තද පැහැ ගැන්වෙනු දක්නට ලැබෙනවා.

ඉන් අනතුරුව සිරුරේ ඔක්සිජන් නොමැතිවීම හේතුවෙන් සෛල තුළ නිර්වායු ස්වසනය මගින් නිපදවෙන රසායනද්‍රව්‍ය හේතුවෙන් සිරුරේ මාංශපේශීන් දැඩි බවකට පත්වනවා මෙය ක්‍රමිකව සිදුවන්නක්. මුලින්ම මෙම තත්වයට පත්වන්නේ ඇස්පිහාටු, හනු, සහ බෙල්ලයි. ඒ නිසා තමා මියගිය පසුව මුඛය වැසී පවතින ලෙස රෙදිපටියකින් බැඳතබන්නේ. එසේ නොමැති වුවහොත් මාංශ පේශින් දැඩිව ඝන වූ විට කට වැසීමට ඉතා අපහසුවෙනවා. ඉන්පසු මෙලෙස මංශපේශීන් ඝන වීම මුහුණ දෙසටත් පපුව, උදරය, අත් සහ පාදවලටත් අවසානයේ අත් පාවල ඇඟිලි දක්වාත් පැතිරෙනවා. මේ අයුරින් උපරිම ලෙස මංශ පේශි දැඩිවීම දක්නට ලැබෙන්නේ මියගොස් පැය 12කට පසුව යි.

ඉන්පසු සෛලවල එන්සයිම ඉන් පිටතට පැමිණ මාංශපේශීන් ජීර්ණයට පත්කිරීමට පටන්ගන්නා බැවින් එම මාංශපේශීන් නැවත ක්‍රමයෙන් ඉහිල්වීමට පටන්ගන්නවා. මෙය ඇඟිලිවලසිට සිරුර දෙසට තමා ක්‍රමයෙන් පැතිරෙන්නේ. මරණයෙන් පැය 48කට පසු එය මුලින් පැවති අන්දමට මාංශ සම්පුර්ණයෙන් ඉහිල් බවට පත්වනවා.

මරණය තීරණය කළ පසුව පැය දෙකක් නිරීක්ෂණය කරන්නේ මෙම සිදුවීම් ඒ අයුරින් සිදුවනවා දැයි බැලීමටයි. ඉන් අනතුරුව නිරීක්ෂණය කර තමා මරණ සහතිකය ලියන්නේ සහ මළ සිරුර මෘතශරීරාගාරයට යවා අවසන් කටයුතු කිරීමට පටන්ගන්නේ.

ඉතින් මුළින් සරල පරීක්ෂණ මගින් මියගිය බවට තීරණය කළ අයෙක් එලෙස සරල පරීක්ෂණ නොමග යවමින් සිරුරතුළ ප්‍රාණය රඳවාගෙන තිබුනේ නම් ඉදිරි පැය දෙක ඇතුළත ඉන්ද්‍රියවල ක්‍රියාකාරිත්වය නැවත අත්පත් කරගැනීමේ හැකියාව තියෙනවා.

දියුණු සංවර්ධිත යුරෝපා සහ බටහිර රටවලත් මෙලෙස මියගොස් නැවත ජීවත්වන පුද්ගලයන් බොහෝ දෙනෙක් සිටින බව අන්තර්ජාලයෙන් තොරතුරු සෙවීමෙන් දැකගන්න පුලුවන්. ඒසේ නම් එවන් සිදුවීම් අපේ රටේ ද වරින් වර වාර්තාවීම අරුමයක් නොවේ. නමුත් රෝගියා මිය ගිය බවට මරණ ප්‍රකාශය සටහන් කරන තුරු ඒ පිළිබඳව නිගමනය කිරීමට ඇති නොහැකියාව වෛද්‍ය වරුන්ගේ වරදක් ලෙස හුවාදැක්විය නොහැකියි.

 

-නීතිවේදී, වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ මහතා සමඟ සිදුකළ සාකච්ඡාවක් ඇසුරින්-

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2018 12:12
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්