සැබෑ මිනිහෙක් වෙන්නම්, පුතෙක් හදන්න ඕනේ, පැළයක් සිටුවන්න ඕනේ, පොතක් ලියන්න ඕනේ කියලා චීන කියමනක් තියනවා. ඒත් දුක් මහන්සිවෙලා පොතක් ලිව්වාට එහි සැබෑ වටිනාකම අදාළ නිර්මාපකයන්ට ලැබෙනවාද? එහෙම නොලැබෙනවා නම් එතන තිබෙන්නේ සමාජමය ගැටලුවක්..
ජීවිත කාලය පුරාම මහන්සිවෙලා බොහෝ කැපකිරීම් කරලා එළිදක්වන කෘතිවල නිර්මාපකයන්ට සැලකිය යුතු මුදලක් ලැබිය යුතු යි. ඒත් සිද්ධවෙන සැබෑව නම් එම නිර්මාපකයන් ද පවතින සමාජ ආර්ථික ප්‍රවාහය තුළ කූඨ වෙළෙඳුන්ගේ සුරාකෑමට ලක්වීමයි.
”කියවීම මිනිසා සම්පූර්ණ කරයි” කියමන අපි දන්න කියන කාලේ ඉදන් අසා තිබෙනවා. ඒ වගේම එහි ප්‍රතිඵලත් අත්විද තිබෙනවා.කියවන්න නම් පොත් ලියන්න ඕනෙ. පොත් ලියන්න නම් බොහෝ දේවල් මහන්සියෙන් ඉගෙන ගන්න ඕනෙ. සමහර වෙලාවට ඒ පිළිබඳව විශේෂ පර්යේෂණ කරන්න ඕනෙ. ඒ වගේ මහන්සිවෙලා ලියන පොතක් කතුවරයා ප්‍රකාශකයකු ළඟට අරගෙන යන්නෙ දහසකුත් බලාපොරොත්තු තියාගෙන. එහෙම අරගෙන යන පොත ප්‍රකාශකයන් මුද්‍රණයට භාරගන්නේ ලේඛකයට 10%ක කොමිස් මුදලක් දෙන පොරොන්දුව මත පමණයි. ඒත් සිදුවිය යුත්තේ පොත් ප්‍රකාශකයන් ලේඛකයා සමඟ ලිඛිතව ගිවිසුම්ගත වීමයි.
නමුත් බොහෝ පොත් ප්‍රකාශකයන් ලේඛකයා සමඟ ගිවිසුමක් අත්සන් කරන බවක් නම් දක්නට ලැබෙන්නෙ නැහැ. ඉන් සිදුවන්නේ මුල් මුද්‍රණය පොත් දහසකට පොරොන්දු වූවත් පොත් කොපමණ මුද්‍රණය කරනවාද යන්න ලේඛකයාට දැනගැනීමට කිසිදු ක්‍රමවේදයක් නොමැති වීමයි.එය නිර්මාපකයන්ට දැනගැනීමට ග්රන්ථ ප්‍රකාශකයො කිසිවිටෙකත් ඉඩ තබන්නේ නැහැ.
රචකයන්ගේ නිර්මාණශීලී හැකියාව වෙළෙදුන් මෙසේ කොල්ලකන්නේ නම්,එහි අයහපත් ප්‍රතිඵල බුක්ති විදින්නට සිදුවන්නේ අනාගත පරපුරටයි. එනම් ලේඛකයන් මන්දෝත්සාහීවීමෙන් ලේඛන කලාව සදහටම අතහැර දැමීම නිසයි.
අනාගත පරපුරේ දෑස් පාදනා ලේඛකයන්ට සමාජ ගෞරවයක් වගේම තමන්ගේ නිර්මාණයට සධාරණ ප්රතිලාභ ලැබීමේ අයිතියක් තිබෙනවා. අනෙක් අතට එවැනි දුර්ලභ ප්‍රතිභාවක් හිමි නිර්මාණකරුවා ආරක්ෂා කිරීම සමාජ වගකීමක්. මෙවැනි ක්‍රියාදාමයකට අදාළ වන නීතිමය පසුබිම් පිළිබඳව නිර්මාපකයන් සියලුදෙනා දැනුවත්විය යුතුයි.ලේඛකයන්ට පමණක් නොවෙයි. සෑම නිර්මාණකරුවකුටම තමන්ගේ නිර්මාණශීලී හැකියාවට ලැබිය යුතු වරප්‍රසාද හිමිකර දීමට නීතිය බැදී සිටිනවා.
නමුත් නිර්මාණකරණයට වගේම තමන්ට සිදුවන අසාධාරණය ගැන හඬනගන්නට තරම් හොඳ කශේරුකාවක් නොතිබෙනවා නම් හෙට දිනයේ දීත් සුදු ඇදුමින් සැරසුනු උපාසක වෙස්ගත් නිර්මාණ කොල්ලකරුවන් හිස ඔසවන එක වළක්වන්නට නම් කාටවත් බැහැ.
-ඉන්දික වීරකෝන්-
[ot-video type=”youtube” url=”https://youtu.be/B_zTUCXj91g”]