නව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්රධානත්වයෙන් ජනතාවාදී ශක්තිමත් රජයක් නිර්මාණය කිරීමේ සාකච්ඡා මේ වන විටත් ආරම්භ වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය හා තවත් සුළු පක්ෂ නියෝජනය කරන මන්ත්රීවරුන් ගණනාවක් ද නව රජය ශක්තිමත් කිරීම වෙනුවෙන් සහාය දීමට මේ වන විටත් ඉදිරිපත්ව සිටිනවා. තවත් මන්ත්රීවරුන් විශාල පිරිසක් නව රජයට එක්වීම සදහා සාකච්ඡා කරමින් සිටින බවයි දේශපාලන වාර්තා සදහන් කරන්නේ.
පාර්ලිමේන්තු මන්ත්රී ආරුමුගම් තොන්ඩමන් මහතාගේ ප්රධානත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග්රසය නව අග්රාමාත්යවරයා සමඟ එක්වෙමින් අලුත් ගමනක් සඳහා පියවර තබා තිබෙනවා.
එසේම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී ආනන්ද අලුත්ගමගේ මහතා ද අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්වුණා.
ඊළාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රී ඩග්ලස් දේවානන්දා මහතා ඇතුලු එම පක්ෂය ද දැනටමත් වත්මන් රජය සමඟ එක්වීමට කැමැත්ත දක්වා තිබෙනවා. එක්සත් ජාතික පෙරමුණ හා සම්බන්ධව සිටින තවත් දේශපාලන පක්ෂ කිහිපයක් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එක්වීමට සුදානමින් සිටිනවා.
ඒ අනුව මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ වන විටත් පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්රීවරුන් පිරිසකගේ සහාය ලැබී ඇති බව තහවුරුයි.