ප්‍රේමයට ලඟම නෑයා විරහවයි කියා මා තර්කයක් ගෙනෙයි නම් ඔබ එයට එකඟයිද? මාගේ විශ්වාසය අනුව මේ එකිනෙකට පරස්පර චිත්ත වේගයන් දෙක අතර ඇත්තේ අල්ප මාත්‍ර දුරස් බවක්. එමෙන්ම අර්ථ පූර්නය කල නොහැකි බොහෝ දේ මේ වදන් දෙක අතර සැඟවී ඇති බවත් කිසිවෙකුට නොරහසක්. කෙසේ වෙතත් ආදරය යන මානව හැගීම සනතර්පනය තුළ බිහි වූවාට වඩා විරහවේ වේදනාව තුළ වඩා විශිෂ්ට කලා නිර්මාණ ලොවට දායාද වූවා යැයි මා තවත් විශ්වාස කරන කරුණක්..
ප්‍රිය විප්පයෝගෝ දුක්ඛෝ, ගීතයේ ප්‍රවිශ්ටයට ප්‍රථම මට සිහි වන බුදු වදනක්. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. මදකට මා මෙලෙස උපකල්පනයක් ගොඩ නැඟුවොත්…..
“දැඩි ලෙසින්ම ප්‍රේමයෙන් බැඳුනු යුවළක්, එක් අයෙකුගේ වියෝවීමක් කෙසේ දරා ගනීද? එය ඔවුන් විවාහ පත් වූ අළුත සිදුවී නම් කෙතරම් සෝචනීයද? තමන් දැඩිව පෙම්කළ තමන්ගේ ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය වෙනුවෙන් ඔවුන් කොයි තරම් නම් සිත් තැවුලකට පත් වෙයිද? මා විශ්වාස කරන අයුරින් මෙම පදවැලේ ද මූලික හරය ගලා යන්නේ එවන් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන් අවාසනාවන්ත තරුණයෙකුගේ ශෝඛාකූල චිත්ත වේගවල ව්‍යාකූල වූ හැසිරීම හරහායි.
සඳු ද අවදියෙන් තරු ද අවදියෙන්
මේ නිශාන්තයේ….
ඔබ ලඟ නැති තව දිනක් ගෙවී යයි
තනිවුන වසන්තයේ…
ඇය හා පෙමින් බැඳි ඔහුගේ ජීවිතයේ වසන්තය උදා වන්නේ ඇය සමඟ විවාහප්රාප්තියෙනි. නමුත් ඔහුගේ උදා වූ වසන්තය ඉතා කෙටි කාලයකට සීමා වෙයි. ඇයගේ වියෝවත් සමඟ ඔහුට ජීවිතයේ උදා වූ වසන්තය තුළ තනි වන්නට සිදුවෙයි. නමුත් එය ඔහුට දරාගත නොහැකි වේදනාවක්. නිදි දෙවුදුව ඔහු අසලට නොපැමිණෙයි. ඒ වෙනුවට සඳු හා තරු පමණක් මේ ගෙවෙන නිශාන්තය තුළ තනි වූ ඔහු සමඟ අවධිව සිටී.
සීතල ඇතිරුනි මිහිරිය ළය මත
කොඳ කෙමි පිපුරුණි මධු පුරවා…
උණුසුම දිස්වුනෙ නෑ නෙත මානෙක…
ඔබලඟ නැතිවම අද මා තනිවම…..
මෙහිදී ඔහුගේ බිරිඳගේ වියෝවීම පිළිබඳ පළමු ඉඟිය සපයයි. පෙම්වතියගේ උණුසුමින් පිරි ළය මඬල සීතල වී යාමත් සමඟ ඔහුගේ මනසේ ඇතිවන ව්‍යාකූල බව මෙයින් මතු කර පෙන්වයි. කොඳ කෙමි තුළ මධු ඇති බව සැබෑය. එහෙත් පිපිරී යන තරම්? ඇත්තෙන්ම මේ අවස්ථාව තුළ ඔහුගේ සිතේ වූ වේදනාව නිසා ඔහු මධුවිතින් උණුසුමක් සොයා නිශ්පල වෑයමක් දරයි. කෙසේ නමුත් ව්‍යාකූල මනසකින් යුතු ඔහු ඉන් බලාපොරොත්තු වන්නේ වේදනාවෙන් පිරුණු මතකයේ දරාගත නොහැකි පීඩනය නිදහස් කරගැනීම මිස අන් ආශ්වාදයක් නොවෙයි.
පහන් නොදැල්විනි ඔබෙ පැල්පත තුළ
නිදිමත අඩනෙතු පිය සනහා….
මගේම කඳුලක් වී පිණිබිදු ලෙස
ඔබෙ කවුළුව ලඟ පිපි මල්පෙති මත….
මා සිතන අයුරින් ගීතයේ මේ කොටස තුළ කථාවේ මෙතෙක් නොකී තවත් සංවේදී හැඟුම්බර පැතිකඩක් විවර කරන්නට උත්සාහ දරනවා වැනිය. ඇත්තෙන්ම ඇයගේ වියෝවෙන් පසුව ඔහුගේ කැදැල්ල තුළට වෙනත් ආලෝකයක් ඔහු පතන්නේ නැත. එතරම් ඔහු ඇගේ අතීත මතකයට පෙම් බඳී. කෙසේ වෙතත් ඇය මිය යන විට ඔහුට ඇයගේ මතකය සමඟ නිතැතින්ම එක් විය හැකි ද්වාරයක් ඇය විවර කර දී ඇත. ඒ ද්වාරය අභියස සිටින්නේ පුංචි මල් කැකුලකි. ඇත්තෙන් සුරතල් දරු සිඟිත්තෙකි. ඔහුගේ විඩාබර දෙනෙතට මදකට හෝ ආශ්වාදයක් ගෙනෙන්නට ඇය කෙරෙන් ඔහුට උරුම වූ මේ දායාදය සමත් වෙයි.
ඉතින් මේ අපූරු පදවැල් ගෙතුම ප්‍රියනන්ද විජයසූන්දර මහතාගේ අතිනි. සංගීතය හා ගායනය යන දෙකම විශාරද අමරසිරි පීරිස් මහතාගෙනි.
ගීතය වෙත…..
[ot-video type=”youtube” url=”https://youtu.be/GYpCiQj1fRw”]