පාට පාට සිහින මැද ප්‍රේමයෙන් වියෝ වූවන්ට මතකයත් වස්තුවක් …
Related Articles
එකම අහසක් යට එකම පොළොවක ඉඳලා අපි කරන්නේම සිහින දකින එක. අපි ජීවත් වෙනවා කියලා කරන්නේ ඒ දකින සිහින පාට කරන්න වෙහෙසෙන එක නෙවෙයිද? සමහරවිට ජීවිතේ කවදාවත්ම පාට කර ගන්න බැරි වුණ සිහින ඔබට තිබෙන්න පුළුවන්. ඒ වගේම ඒ පාට කර ගන්න බැරි වුණ සිහින ගැන ඔබ හදවතින් හඬා වැළපෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැතිනම් සැබෑ කර ගන්න බැරි වුණ සිහිනයක් පසුපස ඔබ තවමත් ලුහුබඳින කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් අවසානයේ හති වැටුණාම නම් සැබෑ කර නොගත් සිහිනයක් ගැන ඔබම කියාවි ” සිහින කියන්නේ සිහිනම පමණයි” කියලා.
සිහින ගැන කතා කරද්දි නම් ප්‍රේමය එහෙමත් නැතිනම් ආදරය ගැන කතා නොකරම බැහැ. මං දන්නවා ඔබ මොන වයස් පරතරයක හිටියත් ජීවිතේ ආපස්සට හැරිලා බලද්දි ඔබට ඒ ගැන අත්දැකීමක් තියෙනවා කියලා. සමහරවිට ඒ මතකය අමිහිරි හිත පාරවන මතකයක් වෙන්නත් පුළුවන්. මෙහෙම කියනකොට මගේ මතකයට එන්නේ සිරි ගුනසිංහ ලියූ ” මතක වස්තුව” කවි පන්තිය. “ප්‍රේමයෙන් වියෝ වූවන්ට මතකයත් වස්තුවක්” වන බවට ගුනසිංහයන් ඉතා අපූරුවට මේ කවි පන්තියෙන් පෙන්වා දෙනවා. හැබැයි ආදරය කියන කාරණාවෙදි ළං වෙන්න බැරි දුරක නම් ඔබේ ආදරය තියෙන්නේ එයින් ඇති විය හැකි ඵලය මොකක්ද ?
මම ඔබෙන් මෙහෙම ඇහුවොත්, ආදරයක් කසාදය කියන තැනින්මද කෙළවර වෙන්න ඕනේ? කසාදය කියන සහතිකයට ඔබ දෙන වටිනාකම මොකක්ද? සහතිකයට පමණක් සීමා වුණ හදවතින් විඳවන ආදර කතා අපි අතරම කොතෙක් ඇත්ද? මම නම් දකින්නේ කසාද ලියවිල්ලක් කියන්නේ සින්නක්කර අයිතිවාසිකමක් වෙනුවෙන් සහතික වන, භෞතිකව අකුරු ගොනු කළ අත්සන් ගැසූමතුපිට සමාජයට “අපි දැන් කසාද බැඳලා” කියලා උජාරුවෙන් පෙන්වන්න පුළුවන් නිකම්ම නිකම් හිස් කඩදාසියක් විදියටයි. ආදරය කියන්නේ ඊට එහා ගිය බැඳීමක්. ඔබ මවාගෙන ඉන්න, ඔබ කොටු කරගෙන ඉන්න සංස්කෘතිය කියන දේ තුළ ප්‍රේමය හා විවාහය කියන වචන දෙක අතර තියෙන්නේ සමාන්තර බැඳීමක්. ආදරය කළා නම් එහි අවසාන ඵලය විවාහ වීමද?
එතකොට ඔය කියන සංස්කෘතිය හදවතක උපදින ආදරයට බලපානවාද? හදවතක උපදින ආදරයක් ඔය කියන සංස්කෘතියට යටපත් කරන්න පුළුවන්ද?පහුගිය කාල වාකවානුවේ මේ තරම් සංස්කෘතිය අගයන රටේ මහා ආන්දෝලනාත්මක විදියට සමාජයම පිළිකුල් කළ සමාජයම ගැරහූ සිද්ධියක් වුණා. ඒ ප්‍රවීන සංගීතවේදී වික්ටර් රත්නායක නමැති කලාකරුවා නැවත වරක් විවාහ දිවියට එළඹීම. ඒ දෙස මුළු මහත් සමාජයම බැලුවේ පිළිකුලෙන්. බොහෝ දෙනා විවිධාකාර කතා මවමින් ඔවුන් දෙපළ විවේචනයටත් ගැරහීමටත් ලක්කළේ ඔවුන් දෙදෙනාගේ වයස් පරතරය ගැන ප්‍රශ්න කරමින්. සංස්කෘතිය ගැන පුරාජේරු කියන මේ දෙදහස් පන්සියයේ වීරයන් මේ සංවේදී කාරණාව උපහාසයට ලක්කරමින් සමාජ මාධ්‍යවල හැසිරුණ ශිෂ්ඨ සම්පන්නභාවය ගැන ඔබට යම් අදහසක් ඇති. මම ඔබෙන් මෙහෙම අහන්නම්…
එවැනි විවාහයක් සිදු වීම වරදක්ද? මේ ප්රශ්නය මේ ලිපිය කියවන ඔබෙන් මම ඇහුවොත් ඔබ කියයි “ඔව්” කියලා. හැබැයි මම දන්නවා යටි හිතෙන් ඔබ එය වරදක් නොවන බව හිතනවා කියලා. සංස්කෘතියක් මොන කරුණු සාධක කොටුකර ගැනීමට හැකි වුණත් ආදරය නම් මොන සංස්කෘතියකටවත් කොටු කර ගන්න බැහැ. සමාජය ඒක මොන විදියට පිළිගත්තත් නොගත්තත් ඇත්ත ඒක නෙවෙයිද?
සිහින ගැන කතා කරද්දි අපි හුඟාක් දුර ගිහින්.. මවන සිහිනවලට පාටක් දෙන්න තමයි අපි මුළු ජීවිත කාලයේම වෙහෙසෙන්නේ. හති වැටෙන්න එපා. ඔබේ ඔය සිහින පාට කරන්න. මොකද ඔබ දකින සිහිනවලට මොකක්ම හරි පාටක් ඕනේ. ඒ සිහින පාට කරන්න ඔබට නොහැකි වුණොත් එහෙම නම් දකින සිහිනවල ප්‍රයෝජනයක් තියෙනවාද? ඔබේ අධ්යාත්මයම හිස් වුණ සිහිනයක් වගේ කියලා කවදා කොතැනකදී හෝ ඔබට හිතෙන්න පුළුවන්. අශ්වයා පිටව ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නැහැ. ඒ නිසා ඔබේ සිහින ඔබම පාට කරන්න. ඒ සිහින සමාජයට ඕනෑ විදියට නෙවෙයි. ඔබට, ඔබේ හිතට ඕනෑ විදියට…
– පංචාලි –