වප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. වස්සාන සමයේ පෙරවස් එළඹුණු භික්ෂූන් වහන්සේ කුසල්දම්පුරා තෙමසකින් වස් පවාරණය කරන්නේ අද වැනි වප් පුර පසළොස්වක පොහොය දිනකයි.
තව්තිසා දෙව්ලොව වස් විසූ මාතෘ දිව්‍යරාජයාණන් වහන්සේට ධර්මය දේශනා කර රන් ඉණිමඟක් මතින් පෙළහර පා දඹදිව සංකස්සපුරට බුදුරජාණන් වහන්සේ වැඩම කළේ ද බුද්ධත්වයෙන් සත්වසක් ගෙවුණු අද වැනි දිනකයි. සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාවන්තයන් අතුරින් අග තනතුරට පත්වූයේ ද වප් පොහොය දිනයේ බව ශාසන ඉතිහාසයේ සඳහන්. මෙසේ බෞද්ධ ශාසන ඉතිහාසයේ ඉතා වටිනා සිදුවීම් රැසකට දායක වූ වප් පොහොය සමරමින් දිවයින පුරා වෙහෙර විහාස්ථානවල අද ආගමික වැඩසටහන් රැසක් පැවැත්වෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත පැවැත්වෙන සදහම් යාත්‍රා වැඩසටහන ජනාධිපති මන්දිරෙය්දී පැවැත්වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජයන්ති සිරිසේන මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයන් මෙන්ම මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් ධර්මය ශ්‍රවණය කිරීමට එක්ව සිටියා. ධර්ම දේශනාව පැවැත්වූයේ පූජ්‍ය මාතර මහින්ද ස්වාමීන් වහන්සේයි.
සෑම පුන් පොහෝ දිනකම ITN ගෙන එන සවණක් රැස් වැඩසටහන සහ ITN FM ශාසනාලෝක වැඩසටහන මෙවර ගෙන එනු ලබන්නේ මාතර මහා මන්තින්ද පිරිවෙන් විහාරස්ථානයේ සිටයි. සාමණේර භික්ෂූන් වහන්සේ විසිපස් නමකට ධර්ම ග්රන්ථ කට්ටල පිරිනැමීම සහ උන් වහන්සේ ශාසනයට පූජා කළ දෙමව්පියන් අගය කිරීම ද මෙහිදී සිදු කෙරුණා. සැදැහැවතුන් අති විශාල පිරිසක් මේ වන විටත් මාතර මහා මන්තින්ද පිරිවෙන් විහාරස්ථානයට පැමිණ සිටිනවා.