fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞදි රජු සහ සල්මාන් කුමරු කෂෝගීගේ පුත‍්‍රයාට ශෝකය පළ කරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 17:51

සෞදි රජු සහ සල්මාන් කුමරු කෂෝගීගේ පුත‍්‍රයාට ශෝකය පළ කරයි

ආන්දෝලනයට තුඩු දී ඇති මාධ්‍යවේදී ජමාල් කෂෝගීගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන සෞදි රජු සහ ඔටුන්න හිමි සල්මාන් කුමරු කෂෝගීගේ වැඩිමහලු පුත‍්‍රයාට දුරකතනයෙන් අමතා මෙම ඝාතනය සම්බන්ධයෙන් ශෝකය පළකර තිබෙනවා. සෞදි රජයේ නිල පුවත් සේවයක් වන සෞදි පුවත් ඒජන්සිය මේ දුරකතන ඇමතුම පිළිබද ප‍්‍රවෘත්තිය තහවුරු කරනවා. කෂෝගීගේ දරුවන් සිව්දෙනාගෙන් වැඩිමහලු පුත‍්‍රයා වන්නේ සාලාහ් කෂෝගියි. ඊයේ පස්වරුවේ සෞදි නායකයන් දෙදෙනා සාලාහ්ට වෙන වෙනම අමතා කොන්සල් කාර්යාලය තුළදී ඇති වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් බලවත් ශෝකයට පත්වන බවත්, ඊට අදාළ පරීක්ෂණ පැවැත්වෙන බවත් පවසා තිබෙනවා.

තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලයෙන් කෂෝගී ආරක්ෂිතව පිටවී ගිය බවයි, සෞදි රජය මුලින් පැවසුවේ. එහෙත් පෙරේදා දිනයේ සෞදිය නිල වශයෙන් තහවුරු කළේ කොන්සල් කාර්යලය තුළදී ඇති වූ ගැටුමකින් කෂෝගී මිය ගිය බවයි. ඊට දිනකට පසු මෙසේ කෂෝගීගේ පවුලේ අය සැනසීමට සෞදි පාලකයන් කටයුතු කිරීම වොෂින්ටන් පෝස්ට් ඇතුළු විදෙස් මාධ්‍ය රැසක් උපහාසයට ලක්කර තිබුණා. කෂෝගී ඝාතනයට ලක්වන විට වොෂින්ටන් පෝස්ට් පුවත්පතට සතිපතා තීරු ලිපියක් ලියමින් සිටියා.

සෞදියේ විදේශ කටයුතු ඇමැති ජුබෙයර් ෆොක්ස් පුවත්සේවයට පවසා තිබුණේ මේ සිද්ධිය සම්බන්ධයෙන් රජයක් ලෙස තමන් කනගාටුවට පත්වන බවත්, මෙය අවාසනාවන්ත සිදුවීමක් බවත්ය. තුර්කි ජනාධිපති රිසෙප් එර්ඩොගන් අද උදෑසන කෂෝගීගේ ඝාතනය සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සමග දීර්ඝ සාකච්ඡුාවක් පවත්වා තිබෙනවා. තුර්කි රජයේ පාලනය යටතේ ක‍්‍රියාත්මක අනඩෝලු ජාත්‍යන්තර පුවත් ඒජන්සිය පවසන්නේ හෙට පෙරවරුවේ තුර්කි ජනාධිපතිවරයා මේ ඝාතනය සම්බන්ධයෙන් විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවයි. එහිදී සෞදි කොන්සල් කාර්යාලය තුළින් තුර්කි විමර්ශන අංශ සොයාගත් රහසිගත කරුණු කිහිපයක්ද අනාවරණය කරනු ඇතැයි එම පුවත් ඒජන්සිය අනාවැකි පළකර තිබෙනවා. ඔක්තෝබර් දෙවැනිදා සිට අතුරුදන්ව සිටි ජමාල් කෂෝගී ඝාතනය කර ඇති බවත්, ඔහුගේ සිරුර කොටස්වලට වෙන් කර කොන්සල් කාර්යාලයෙන් පිටතට ගෙන ගොස් ඇති බවත් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 17:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්