fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආනයන සීමා කළ හැකි භාණ්ඩ පිළිබඳ ජනපති මුදල් අමාත්‍යාංශයෙන් වාර්තාවක් ඉල්ලයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2018 18:33

ආනයන සීමා කළ හැකි භාණ්ඩ පිළිබඳ ජනපති මුදල් අමාත්‍යාංශයෙන් වාර්තාවක් ඉල්ලයි

ලෝක වෙළෙඳපොළ තුළ දැනට උද්ගතව ඇති අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අභියෝගයන්ට විසඳුම් ලෙස ආනයනය සීමා කළ හැකි භාණ්ඩ පිළිබඳ සොයා බලා ඒ පිළිබඳ වාර්තාවක් සතියක් තුළ ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී තිබෙනවා. ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ ජාතික ආර්ථික සභාව අද (16) පෙරවරුවේ රැස් වූ අවස්ථාවේදියි.

ජාතික ආර්ථික සභාව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද(16) පෙරවරුවේ රැස්වුණා. එහිදී විශේෂ අවධානයක් යොමු වූයේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තාවකාලිකව සීමා කොට ඒවා දේශීය වශයෙන් නිෂ්පාදනය දිරි ගැන්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවයි. දැනට ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ අතරින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සම්බන්ධයෙන් පනවා ඇති සීමා යාවත්කාලින කර පාරිසරික වශයෙන් මෙන්ම දේශීය කර්මාන්තයන්ට අයහපත් බලපෑමක් කරනු ලබන පොලිතින් ආනයනය සීමා කිරීම පිළිබඳව ද අවධානය යොමු වුණා. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීම, පාලනය කිරීම මගින් සහ ආනයනය කරන භාණ්ඩ සඳහා නිසි පරිදි රේගු බදු අය කිරීම මගින් රටේ වෙළෙඳ ශේෂයේ හිඟය පියවිය හැකි බව මෙහිදී ජනාධිපතිතුමා ආර්ථික සභාවට ප්‍රකාශ කළා.

දේශීය ව්‍යාපාරිකයින් හා නිෂ්පාදකයින් මුහුණ දී ඇති ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් ද මෙවර ජාතික ආර්ථික සභාවේ අවධානය යොමු වුණා. සීනි ආනයනකරුවන් වර්තමානයේ මුහුණ දී ඇතැයි පැවැසෙන ගැටලු පිළිබඳ එහිදී අවධානය යොමු වූ අතර ඔවුන් පෙන්වා දුන්නේ වර්තමාන පාලන මිලට සීනි ලබා දීමේදී විශාල පාඩුවක් විඳීමට සිදුවන බවයි. දේශීය පළතුරු බීම කර්මාන්තකරුවන්ගේ ගැටලු ද ජාතික ආර්ථික සභාවේ අවධානයට ලක් වුණා. පළතුරු බීමවල අඩංගු සීනි ප්‍රමාණය මත පනවා ඇති බදු පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ අතර දේශීය පළතුරු නිෂ්පාදකයින්, පළතුරු ගොවීන් සහ බීම නිෂ්පාදකයින් දිරිමත් කිරීම සඳහා ක්‍රමවේදයක් හඳුනා ගැනීමට කමිටුවක් පත්කර එහි වාර්තාවක් ජාතික ආර්ථික සභාවට ලබා දෙන ලෙස ද නිර්දේශ කෙරුණා. ජාතික ආර්ථික සභාවේ අවධානය යොමු වූ තවත් කරුණක් වූයේ ආනයනය කරනු ලබන ත්‍රිත්ව සුපර් පොස්පේට්වලට ආදේශකයක් ලෙස එප්පාවල නිධියේ ඇපටයිට් භාවිත කරමින් සිංගල් පොස්පේට් නිෂ්පාදනය කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සොයා බැලීමයි. එමගින් පොහොර සඳහා විදේශයන්ට ඇදී යන විදේශ විනිමය ඉතිරි කරගත හැකි බව අවධාරණය කෙරුණා.

මීට අමතරව වරායට ගෙන එන භාණ්ඩ නිෂ්කාශනය කිරිමේදි ස්කෑන් පරික්‍ෂාවට ලක් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ අවධානය යොමු කෙරුණා. අහඹු ලෙස බහලුම් පරික්‍ෂා කිරීම වෙනුවට සියලු බහලුම් පරික්‍ෂා කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම මෙහිදී සාකච්ඡාවට ලක් වූ කරුණක්. ජනාධිපතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේ වර්තමාන තත්ත්වය පිළිබඳ කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙසයි. කලුගඟ නිම්න මිටියාවත මුහුණ දී තිබෙන ගංවතුර තර්ජන පිළිබදව ද ජාතික ආර්ථික සභාවේ විශේෂ අවධානය යොමු වුණා. එහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ රත්නපුර හා කලුතර නගර ඇතුලු ගංගා නිම්න මිටියාවතේ අනෙකුත් ප්‍රදේශ ගංවතුරට යටවීම පාලනය කිරීමට නිසි වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය බවයි. එය බොහෝ කාලයක් තිස්සේ අතපසු වූ කාර්යයක් බව ද ජනාධිපතිතුමා පැවසුවා. ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළ අතර මෙම ජලය උතුරට හා වයඹට ගෙන යාමේ වැඩසටහනක් පිළිබඳ අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර නිසි ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2018 18:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්