හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට ට ලබාදුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් ගොනු කළ අභියාචන පෙත්සම් ඔක්තොම්බර් මස 19 දා සලකා බැලීමට අභියාචනාධිකරණය අද දින ලබා දී තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහාධිකරණයේ ඇති ලේඛන අභියාචනාධිකරණය වෙත අද ඉදිරිපත් කෙරුණා. එම ලේඛන ගොනුවේ ලැයිස්තු ගත ලේඛන නිසිපරිදි ඇතුළත්ව ඇද්දැයි යන්න මීලඟ දින අධිකණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය පාර්ශව වලට නියෝග කළා.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී සිල් රෙදි බෙදා දීමේ වැඩසටහනක් සදහා ශ්‍රි ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් ලබා ගෙන එම මුදල් වංක ලෙස සාවදය පරිහරණය කිරීමේ චෝදනා සහ සාවද්‍ය පරිහරණය කිරීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනා ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට අයට එල්ල වුණා.
මෙම චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුවන් වූ ඔවුන්ට වසර තුන බැගින් බරපතළ සිර දඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබුණා.
කොළඹ මහාධිකරණය ලබා දුන් නියෝගය දෝෂ සහිත බව පවසමින් තමන්ට එරෙහිව ඇති තීන්දුව අත්හිටුවා චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලෙසට විත්තිකරුවන් දෙදෙනා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා.
සිර දඩුවම් වලට අමතරව විත්තිකරුවන් දෙදෙනාට වෙන වෙනම රුපියල් ලක්ෂ 20 බැගින් වූ දඩ මුදලක් ගෙවීමට ද මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කර තිබුණා.
තවද මෙම මුදල් සාවද්‍ය සාපරාධී ලෙසට පරිහරණය කිරීම තුළින් විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට සිදු වූ පාඩුව ගෙවීමට විත්තිකරුවන්ට වෙන වෙනම එම කොමිෂන් සභාවට රුපියල් මිලියන 50 බැගින් වන්දි මුදල් ගෙවන ලෙසට ද මහාධිකරණය විත්තිකරුවන්ට නියෝග කෙරුණා. මෙම දඩුවම් සමාජයට ආදර්ශයක් ලබා දීමේ අරමුණින් ලබා දෙන බවයි මහාධිකරණ විනිසුරුවරයා අවධාරණය කර තිබුණේ.