fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සීෂෙල්ස් – ශ‍්‍රී ලංකා සබඳතා ශක්තිමත්ව වර්ධනය වෙමින් පවතින බව ජනාධිපතිතුමා පවසයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2018 10:00

සීෂෙල්ස් – ශ‍්‍රී ලංකා සබඳතා ශක්තිමත්ව වර්ධනය වෙමින් පවතින බව ජනාධිපතිතුමා පවසයි

සංවර්ධනය කරා ගමන් කරමින් සිටින රටවල් ලෙස එම සහයෝගීතාව මඟින් ලැබෙන ප‍්‍රතිලාභ දෙරටේම ජනතාවගේ යහපත උදෙසා හේතු වනු ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ ය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ සීෂෙල්ස්හි වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් සමග ඊයේ (09) පස්වරුවේ පැවති හමුවකදී ය.

සීෂෙල්ස්හි විවිධ ක්ෂේත‍්‍රවල සේවය කරන ශ‍්‍රී ලාංකික වෘත්තීයවේදින්, අධ්‍යාපනය ලබන සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඔවුන් සියලුදෙනා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාව ඉතා ගෞරවයෙන් පිළිගනු ලැබූහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ශ‍්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍ය අතර පවතින සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව මෙන්ම නව ආර්ථික සහ වෙළෙඳ සබඳතා ඇතිකර ගැනීම පිළිබඳ තම දෙදින රාජ්‍ය සංචාරයේ දී වැදගත් තීන්දු තීරණ රැසකට එළැඹුණු බව යි.

සියලු රාජ්‍යයන් සමග සහයෝගිතාව ඉහළ නංවා ගනිමින් ශ‍්‍රී ලංකා මාතෘ භූමියේ සහ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ප‍්‍රතිලාභ ලබා ගැනීම තම අරමුණ බව ද ජනාධිපතිතුමා මෙහිදී ශ‍්‍රී ලාංකිකයන් අමතමින් වැඩිදුරටත් සඳහන් කළේ ය.

සීෂෙල්ස් ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණශාලා මධ්‍යස්ථානයේ දී මෙම හමුව සිදු වූ අතර සීෂෙල්සිහි ශ‍්‍රි ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිල වෙබි අඩවිය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

සීෂෙල්ස් බෞද්ධ සංගමයේ වෙබ් අඩවිය ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

පසුගිය 30 වසරක කාලය තුළ සීෂෙල්ස් රාජ්‍යයේ වාසය කරමින් ශ‍්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍යය අතර ඇති සබඳතා ශක්තිමත් කරගැනීමට දායකත්වය සැපයූ ශ‍්‍රී ලාංකික වෘත්තීයවේදින් ඇගැයීමට ලක් කරමින් ඔවුන් වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

ජනාධිපතිතුමාගේ සීෂෙල්ස් සංචාරය සිහිපත් කරමින් සීෂෙල්ස්හි ශ‍්‍රී ලාංකීය එකමුතුව විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වි ය.

අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, රාජ්‍ය අමාත්‍යවරුන් වන පියසේන ගමගේ, මොහාන් ලාල් ගේ‍්‍රරු යන මහත්වරුන් ද සීෂෙල්හි ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ටිකිරි හේරත් ගුණතිලක මහතා ඇතුළු පිිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2018 10:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්