ශ්‍රී ලංකාවේ මේ දිනවල වැඩියෙන්ම කතාබහට ලක්වන මාතෘකාව තෙල් මිලයි. 2014 වසරෙන් පසු තෙල් මිල පසුගිය සතියේ වැඩිම අගයක් වාර්තා කළා. එහෙත් අද එම තත්ත්වයේ යම් වෙනසක් දක්නට ලැබෙනවා. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 83 දක්වා පහත බැස තිබෙනවා. ඉරානයෙන් ලෝක වෙළෙඳපොළට ලැබෙන බොරතෙල් ප්‍රමාණය ඉහළ යාමත් සමගයි බොරතෙල් මිල අඩු වී ඇත්තේ. ජාත්‍යන්තර වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් එකයි ශත 7 කින් පහත වැටුණා.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 83 යි ශත 9 ක් වනවා. පසුගිය සතියේදී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල ඇමෙරිකා ඩොලර් 86 ශත 74 ක් දක්වා වාර්තා ගත ලෙස ඉහළ ගියා. මෙවැනි අගයක් මින් පෙර වාර්තා වූයේ 2014 වසරේදීයි. ලබන මස 4 වනදා සිට ඉරානයට එරෙහිව ඇමෙරිකා සම්බාධක ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ අනුව ලෝක බොරතෙල් මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් ලබන මාසයේදී මතුවනවා. ඉරානයෙන් තෙල් මිලදී ගැනීම නවතා දමන ලෙසටයි ඇමෙරිකා බලධාරීන් සියලු රටවලින් හා සමාගම්වලින් ඉල්ලා ඇත්තේ. එහෙත් චීනය මෙම තීරණයට එකඟ නොවනු ඇති බවයි විශ්ලේෂකයින් පවසන්නේ. ඉරානයට සම්බාධක පැනවීමෙන් පසු ලෝක වෙළෙඳපොළට සෞදි අරාබියෙන් වැඩිපුර තෙල් ලබා ගැනීමට ද ඇමෙරිකා එක්සත් ජනපදය සෞදි බලධාරීන් සමග සාකච්ඡා කර තිබෙනවා. සෞදි රජය සඳහන් කර තිබුණේ ලබන මාසයේදී දිනකට ඛනිජ තෙල් බැරල මිලියන 10 යි දශම 7 ක් දක්වා ලෝක වෙළෙඳපොළට නිකුත් කිරීමට තමන් සූදානම් බවයි.