රජයේ මුදල් රුපියල් මිලියන හාරදහස් දොළහක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වාරිමාර්ග අමාත්‍යාංශයේ හිටපු ලේකම් අයිවන් සිල්වා මහතාට විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළා. ගිං නිල්වලා වාරි යෝජනා ක්‍රමය යටතේ චීන සමාගමකට ගෙවීමට පොරොන්දු වූ මුදලින් සියයට පහක් අත්තිකාරම් ලෙස ලබාගනිමින් මෙම මුදල සාවද්‍ය ලෙස පරිහරණය කළ බවටයි අයිවන් සිල්වා මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ.
විවෘත වරෙන්තුව ජාත්‍යන්තර පොලීසිය වෙත යැවීම සදහා ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. වරෙන්තුවේ පිටපතක් ආගමන හා විගමන පාලක ජනරාල්වරයාට ද යොමුකරන ලෙසයි දැනුම් දෙනු ලැබුවේ. මෙලෙස විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමට හේතු වූයේ මින් පෙර නිකුත් කළ වරෙන්තුව සදහා මෙතෙක් පිළිතුරු ලැබී නැති බැවින්. සිද්ධියට අදාළව හිටපු අමාත්‍යාංශ ලේකම්වරයාගේ ගිණුමේ චෙක්පත් 11 ක් මගින් මුදල් සංසරණය වී ඇති බව පරීක්ෂණවලදී හෙළි වූ අතර ඉන් චෙක්පත් හයක් ඔහුගේ සොහොයුරියගේ සැමියාගේ ගිණුමට යොමුකර ඇති බව පෙනීගොස් තිබෙනවා.