ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මත දරුවන් පීඩාවට පත්නොකරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කළා. ජනාධිපතිතුමා මෙම ඉල්ලීම සිදුකළේ මහනුවර ආදර්ශ විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින්.
මහනුවර ආදර්ශ විද්‍යාලය වෙත අද (06) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගිය අවස්ථාවේ සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබුවා. ළගම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන යටතේ ඉදිකළ දෙමහල් විද්‍යාගාර ගොඩනැගිල්ල සහ තෙමහල් පන්තිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරුණේ ජනාධිපතිතුමා අතින්. එමෙන්ම විදුහලේ විදුහල්පති නිල නිවස ඇතුළු නවීකරණ කටයුතු විවෘත කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදුකෙරුණා. විද්‍යාලයේ 2017 වසරේ විශිෂ්ටතා දැක්වූ සිසුන්ට සම්මාන සහ තිලිණ ප්රදානය ජනාධිපතිතුමා සිදුකළේ ඉන් අනතුරුවයි. විද්‍යාලයේ ආදර්ශ ගොවිපලද ජනාධිපතිතුමා නිරීක්ෂණයට ලක්කළා. මෙම විවෘත කිරීමෙන් අනතුරුව රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපතිතුමා ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල හමුවේ පසුගිය කාලය තුළ රටේ දරුවන්ට මුහුණදීමට සිදුවූ සිදුවීම් රැසක් සිහිපත් කළ අතර ඒ පිළිබද සියලු අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බව සදහන් කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/EausH1GAhV4″]
මේ අතර මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හි පැවැත්වෙන අන්තර්ජාතික ආයුර්වේද අධ්‍යාපන හා වෙළෙද ප්‍රදර්ශනය නැරඹීමට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්වුණා. ප්‍රදර්ශනයේ දෙවන දිනය වන අද (06) එය විවෘත කළේ ජනාධිපතිතුමා අතින්. පාරම්පරික වෛද්‍ය දැනුම ලොවට ගෙනයාමේ අරමුණෙන් මධ්‍යම පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව හා මධ්‍යම පළාත් සභාව එක්ව වසර දෙකකට වරක් මෙම ප්‍රදර්ශනය සංවිධාන කරනවා. එය මෙවර පැවතුනේ සිව්වන වරටයි. ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් කාර්යමණ්ඩලය සමග සුහද කතාබහක නිරත වුණා.