ගායකයකු මෙන්ම රංගන ශිල්පියකු ලෙස නමක් දිනා සිටී රොනී ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ප්‍රසංගයකට සහභාගි වු අවස්ථාවේ නවාතැන් ගෙන සිටි ස්ථානයේ දි ඇතිවු හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මිය ගොස් ඇති බවට පසුගියදා අනාවරණය වුණා.
ප්‍රසංග වේදිකාවේ රසිකයන් කුල්මත් කළ රොනී ලීච් හිටි හැටියේම අප හැර ගොස් අවසන්ය. ‘තට්ටයා’ නමැති ආදරණීය ආමන්ත්‍රණයෙන් රොනී රසිකයන් අතර වඩාත් ජනප්‍රිය වී සිටි අයෙකි. එමෙන්ම ඔහු ප්‍රසංග වේදිකාවේ පළමුපෙළේ entertainer කෙනෙකු ලෙස ද නමක් දිනා සිටියේ ය.
මිය යන විට 65 වැනි වියේ පසුවු රොනී මෙවර ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා ගොස් ඇත්තේ ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක සමගිනි. ඇය පවසන ආකාරයට රාත්‍රි ආහාර ගෙන මේ දෙදෙනා තම තමන් නැවතී සිටි ස්ථානවලට ගොස් ඇති බවත් පසුදා උදෑසන ඔහු කුස්සිය තුළ වැටී ඇති අයුරු දක්නට ලැබුණු බවයි. එම අවස්ථාවේ දී ම රොනීව රෝහල් ගත කළත් ඒ වන විටත් ඔහු මෙලොව හැර ගොස් අවසන්ය.
රොනීගේ හදිසි වියෝව පිළිබඳව ඕස්ට්‍රේලියානු වෛද්‍යවරු පවසා ඇත්තේ හදිසියේ ඇතිවු හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් ඇති බවයි.
1953 ඔක්තෝබර් පළමු දින බෙල්ලන්විලදි උපත ලැබූ රොනීට සොහොයුරන් පස් දෙනෙකි. ක්‍රිස්තු භක්තිකයකු (ඇන්ග්ලිකන්) වන රොනීගේ ආදරණීය බිරිය විවට් ලීච්ය. ප්‍රසංග වේදිකාවේදි අතිශය සරල විනෝදකාමි කලාකරුවකු ලෙස රසිකයන් සතුටට පත්කරන මේ ගායකයා පෞද්ගලික ජීවිතයේ ආදර්ශවත් පියෙකි. දයාබර සැමියෙකි. කේෂියා ලීච්ට සහ කෙෂාන් ලීච්ට ආදරණීය පියෙකි. ඔවුන් දෙදෙනාටම හොඳින් අධ්‍යාපනය ලබාදෙමින් ගරු හරුකම් ලබා දුන් නිසාම අද වනවිට ඔවුන් වැදගත් රැකියාවල නිරත වෙමින් සමාජයට යහපත්ක් වනසේ ජීවත්වන්නන් වේ.
සිංහල, ඉංග්‍රිසි, හින්දි, ද්‍රවිඩ භාෂාවලින් ගීත ගායනයට විශේෂ හැකියාවක් ඇති මේ ප්‍රවීණ ගායකයා ගායන ලොවට ප්‍රවිෂ්ට වන්නේ 1972 ආධුනික ගී තරගයකට සහභාගි වෙමිනි. ඉන් පසුව ‘play boy’ නමැති බටහිර සංගීත කණ්ඩායම සමග එක්ව කටයුතු කරන අතරවාරයේ කැලැරන්ස් විජේවර්ධනයන්ගේ වියෝවෙන් පසුව 1983දී ‘super golden chimes’ වාදක කණ්ඩායමට එක්වෙයි. එහිද කලක් වැඩකළත් සංගීත දිවියේ තමන් බලාපොරොත්තු වු තරමට ජනතාව අතරට යෑමට නොහැකිවු තැන ඕමාන් රටට යන්නේ රැකියාවක් සඳහා ය.
1989 වසර රොනීගේ ජීවිතයට වාසනාව උදාවු වසරක් විය. එයට හේතුව ජිප්සීස් කණ්ඩායම ඕමාන් රටේ ප්‍රසංගයකට පැමිණි අවස්ථාවේදි රොනීව මුණ ගැසෙන පියල් පෙරේරා ඔහු සංගීත නිර්මාණය කළ ‘තට්ටයා’ ගීතය ගායනා කරන්නටත් ජිප්සීස් සමඟ වැඩ කරන්නටත් ආරාධනා කිරීමයි. එම ආරාධනාව සතුටෙන් භාරගනිමින් නැවතත් මවුරටට එන රොනී 1990දි ‘තට්ටයා’ කැසට් පටයෙහි කවරය සරසන්නේ තමන්ගේ හිස මුඩුකරමින් ස්වරූපය ද වෙනස් කරමිනුයි.
එදා පටන් හිස භූ ගාමින් මියයන තුරුම තමන්ටම වු අනන්‍යතාවක් කලාව තුළ ගොඩනගාගත් මේ නිහතමානි කලාකරුවා සෑම අවස්ථාවකදීම ජිප්සීස් සුනිල් පෙරේරාත්, පියල් පෙරේරාත් සිහිකරන්නේ හදපිරි සතුටෙනුයි. තට්ට සෝමේ, බෝතලේ, ඇලිස්… ආදි තවත් ජනප්‍රිය ගීත රැසක් හිමිකරුවා රොනී ය. මොහුගේ ගීතවල විශේෂත්වය වනුයේ බොහොමයක් ගීතවල පදවැල් හේමසිරි හල්පිටගේ විසින් රචනාකර තිබිමයි.
ගායකයකුට අමතරව ප්‍රහසන රංගන ශිල්පියකුද වන මේ කලාකරුවා කලාවට පිවිසෙන්නේ 1979 දී රඟපාන ලද ‘ඈතින් ඈතට’ චිත්රපටයෙන්ය. රෑ ඩැනියෙල් දවල් මිගෙල්, හොටෙල් ඩී. කලබල… ඔහු මෑත කාලයේ රඟපෑ අතිශයින් ජනප්‍රිය කලා නිර්මාණ කිහිපයක්ය. කලාවට ප්‍රවිෂ්ට වු අවධියේ සිටම ඉතාම සමීපව ඇසුරුකළ මරියසෙල් ගුණතිලක ඔහු මියයන තුරුම ළඟින්ම ඇසුරුකළ මිතුරියක් වූවාය.
රොනීගේ හදිසි වියෝව කණ වැකුණු කලාකරුවන් සහ ඔහුගේ රසිකයන් පවසන්නේෙ ‘රොනීගේ හදිසි වියෝව කලාවට ඉමහත් පාඩුවක් බවයි. රොනී ලීව් යනු කලා ක්ෂේත්රයේ කා අතරත් සුහදශීලි ගායකයකු මෙන්ම ගායක , ගායිකා සංගමයේ ක්‍රියාකාරි සාමාජිකයකු වන රොනී මෙරට ප්‍රසංග වේදිකාවට වෙනස්ම මුහුණුවරක් ලබාදුන් හිතහොඳ,නිහතමානී කලාකරුවක්.
මේ වන විටත් (2018-10-06) රොනීගේ දේහය මෙරටට ගෙනැවිත් නොමැති අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාරය ගැන තවමත් කිසිවක් කිව නොහැකියි.
ආදරණීය රොනී, ඔබ අප අතර නැති වුණත් ඔබගේ රුව මෙන්ම හඬද සදාතනිකව රසිකයන්ගේ සිත් සතන් තුළ ලැගුම් ගනු ඇත. අපි සියල්ලෝම ඔබට මොක්සුව පතන්නෙමු!
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/maxresdefault.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/images-1.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/maxresdefault-2.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/ras-17-1.jpg”]