Life+News The Official News Portal of Independent Television Network Ltd

රුපියල අවප්‍රමාණය හා අපේ රටේ දේශපාලනය..

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 16:22

රුපියල අවප්‍රමාණය හා අපේ රටේ දේශපාලනය..

රුපියල… අගයක් විදියට ගත්තොත් පහළම මුදල් ඒකකය විදියට සළකන්නේ මෙන්න මේ රුපියල. ඒ වගේම මෙච්චර මුදල් ඒකක තියෙද්දි වැඩියෙන්ම කතාබහ කරන මුදල් ඒකකයත් රුපියල. අද වෙද්දි මේ රුපියල ගැන හැම කෙනෙක්ම කතා කරන්න හේතුවෙලා තියෙන්නේ රුපියල අවභාවිත වීම කියන කාරණයයි. ඒත් මොකක්ද මේ රුපියල අවභාවිත වීම කියන්නේ?

 

 

රුපියල අවප්‍රමාණය වීම ආකාර දෙකකට සිදු වෙන්න පුළුවන්. පළවෙනි එක රුපියල දේශීය වශයෙන් අවප්‍රමාණය වීම. එතනදි රුපියලකට ගත හැකි භාණ්ඩ ප්‍රමාණය අඩු වන්නේ නම් එය දේශීය වශයෙන් රුපියල අවප්‍රමාණය වීමක් විදියට හඳුන්වන්න පුළුවන්. දෙවැන්න තමයි විදේශීය වශයෙන් අවප්‍රමාණය වීම. මේ විදේශීය වශයෙන් අවප්‍රමාණය වීම විනිමය අනුපාත ඔස්සේ මෙය හොඳින්ම පැහැදිලි කරගත හැකියි. රුපියලක් වෙනුවෙන් ලැබෙන ඩොලර් ප්‍රමාණය ඊට පෙර ලද ගණනට වඩා අඩු වෙනවා නම් ඒ වගේ අවස්ථාවකදී ඩොලරයට සාපේක්ෂව යමින් රුපියල අවප්‍රමාණය වන බව කියන්න පුළුවන්.

 

අමෙරිකානු ඩොලරයේ වැදගත්කම..

 

ලෝකයේ සිදු වෙන මූල්‍ය ගනුදෙනු සියල්ල එකට කැටි කරලා ගත්තොත් ඒවායින් 90%ක්ම කෙරෙන්නේ අමෙරිකානු ඩොලරයෙන්. අමෙරිකානු ඩොලරය කොයිතරම් ප්‍රබලද කිව්වොත් අමෙරිකාවේ මූල්‍ය ක්ෂේත්‍රය තුළ සිදුවන පුංචිම වෙනසක් පවා ලෝකයේ අනෙක් රටවලට බලපානවා. මේ තත්වය දැඩිව දැනෙන්නේ සංවර්ධන වෙමින් පවතින, ඌන සංවර්ධිත රටවල්වලට. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්ති මේ වෙද්දි මුළු ලෝකයටම බලපාලා තිබෙනවා. (ඇයි එහෙම වෙන්නේ කියන කාරණාවට පිළිතුරක් ඔබට අවශ්‍ය නම් මේතරම් වෙලාවක් කිව්වේ ඒ ප්‍රශ්නයට පිළිතුර තමයි). මේ නිසා අමෙරිකානු ඩොලරය ශක්තිමත් වීම හේතුවෙන් රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් පවතිනවා. මේ තත්වය ශ්‍රී ලංකාව, ඉන්දියාව විතරක් නොවෙයි අග්නිදිග ආසියාවටම බලපාමින් තිබෙන බව නොරහසක්.

 

ආසියාවේ රුපියලට මොකද වෙන්නේ?

අමෙරිකා ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියලේ අගය ඉන්දිය රුපියල් 73.52න් පහළ ගොස් ඇති බව Press Trust of India news agency අද වාර්තා කර තිබෙනවා. විශේෂයෙන්ම අපනයනකරුවන් විසින් වැඩි වූ අමෙරිකානු ඩොලර්වලින් සිදු කළ නවතම ගනුදෙනු, රුපියලට සහාය වන ඇතැම් විදෙස් මුදල් ඒකක ද දුර්වල වීම මෙයට හේතු වී ඇති බව ගනුදෙනුකරුවන් කියා සිටින බව එහි දැක්වෙනවා. ඉන්දීය රක්ෂණ බැංකුව (RBI)  ද මේ හේතුව නිසා සිය ද්වි මාසික ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීමට අපේක්ෂා කර තිබෙනවා. ඒ මගින් ඔවුන් අඛණ්ඩව තුන්වන වසරේත් සිය ණය පොළි අනුපාතයන් ඉහළ නංවනු ඇති බව ඉන්දියානු ආර්ථික විශේෂඥයන් මත පළ කරනවා. ඉන්දීය රුපියලේ අවප්‍රමාණයට වීම වේගවත් වීමට හේතුවක් ලෙස එරට උද්ධමනය ඉහළ යාම මූලික ගැටලුවක් වී ඇති බව ඉන්දීය විශේෂඥයන් පවසනවා.  කෙසේ වෙතත් අද මධ්‍යහ්නය වන විට ඉන්දීය රක්ෂණ බැංකුව කියා සිටියේ සිය ප්‍රධාන ණය පොලී අනුපාතිකය 6.5% ක ස්ථාවර අගයක පවත්වාගෙන යාමට තීරණය කළ බවයි.  

 

 

ලෝක වෙළෙඳපොලේ බොර තෙල් මිල ඉහළ යාම, අමෙරිකානු ෆෙඩරල් රිසර්ව් බැංකුව සිය පොළි අනුපාතයන් ඉහළ නැංවීම, ගෝලීය ආර්ථික ක්ෂේත්‍රයේ වෙනස්වීම හා ජංගම මූල්‍ය ගිණුම්වල ඇතිව ඇති අර්බුද හමුවේ මේ තත්වයට කෙසේ හෝ  මුහුණ දීමට සිදුවන බව ඉන්දීය ආයෝජන ක්ෂේත්‍රයේ ආයෝජන කළමනාකරුවකු වන මෝහිත් රහාන් පවසනවා. වසර 4ක් තුළ ඉරානය හා අමෙරිකාව අතර බොරතෙල් සම්බන්ධයෙන් පසුගිය කාලයේ ඇති වූ ගැටුම් හමුවේ අමෙරිකාව ඉරානයට පනවා ඇති සම්බාධක ද මේ තෙල් මිල ඉහළ යාමට හේතුවක්. ඉන්දියාව ලෝකයේ තුන්වන තෙල් ආනයනය කරන රට ලෙස සැළකෙනවා. මේ නිසා තෙල්මිල ඉහළ යාම ඔවුන්ගේ තෙල් ආනයනය කිරිමේ බිල්පතෙහි ඉලක්කම් සංඛ්‍යාව වැඩි කිරිමට සමත් වීම විශාල ගැටලුවක් වේවි.කෙසේ වෙතත් ඉන්දියාව ආසියාවේ දරුණුම රුපියල අවප්‍රමාණය වීමේ අර්බුදයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

 

 

ඉන්දියාවේ ප්‍රාන්ත 4ක ජනතාව වැඩිි වූ තෙල් මිලට එරෙහිව ප්‍රබල විරෝධතාවක නිරත වෙමින් සිටිනවා. එයට විසඳුම් සැපයීමට අපොහොසත් ඉන්දියානු රජය කියා සිටින්නේ තෙල් මිල කිසිසේත් පහළ දැමීමට නොහැකි බවයි. නමුත් කෙලඟනා, මහාරාෂ්ට්‍ර, හා ගුජරිට් ප්‍රාන්තවල පෙට්‍රල් හා ඩීසල් මිල ඉන්දීය රුපියල් 2.50කින් අඩු කර තිබෙනවා. ඒ මධ්‍යම රජය ඉන්ධන මත අය කළ බද්ද අඩු කිරීම හේතුවෙන්.

පකිස්තානය ද මේ වන විට පස්වන වරටත් එරට තෙල් මිල ඉහළ දැමීමේ අවධානමක පසුවනවා. පකිස්තානයේ පවතින මූල්‍ය අර්බුදය හමුවේ ඩොලරයේ ඉහළ යාම එක් පසෙකින් තිබෙද්දී තවත් පසෙකින් තෙල් මිල ඉහළ යාම සහ උද්ධමනය යන ගැටලුවලට විසඳුම් සෙවීමට මූල්‍ය විශේෂඥයන් කටයුතු කරමින් සිටිනවා.

 

මීට අමතර වශයෙන් ඉන්දුනීසියාව, ආර්ජන්ටිනාව, පිලිපීනය සහ තුර්කිය යන රටවල මහ බැංකු විසින් අමෙරිකානු ෆෙඩරල් බැංකු‍වේ සංචිතවල පොලී අනුපාතිකයන් ඉහළ යන ආකාරයට සාපේක්ෂව ඔවුන්ගේ උද්ධමනය හා මුදල් අනුපාතිකයන් රැක ගැනීම සඳහා නව මුදල් අනුපාතිකයන් ඉදිරිපත් කර තිබෙනවා.

 

 ශ්‍රී ලංකාවේ තත්වය..

 

අපේ රටේ රුපියල අවප්‍රමාණය වීම මේ වෙද්දි දේශපාලන මාතෘකාවක් බවට පත් වෙලා. එකිනෙකා තම තමන් අතර වගකීම් ලවරාගෙන කටයුතු කිරීමට එහා ගිය චෝදනාගාරයක් බවට මුළු රටම පත් වෙමින් යනවා. මේ අතරේ යහපාලන රජය රුපියල අවප්‍රමාණය වීම රටේ ආර්ථිකයට බල නොපාන ආකාරයට සිදු කරගෙන යාම වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදු කරමින් ඉන්නවා.

ඒ අතරේ 2012 වසරේ මේ ආකාරයටම රුපියල 14%කින්  අවප්‍රමාණය වීමකට අපි මුහුණ දුන් අවස්ථාවේදී එවකට පැවති රාජපක්ෂ රජය විදෙස් සංචිතවලින් බිලියන 4.1ක් මුදා හරිමින් මේ තත්වයට මුහුණ දුන්නා. 2018 වසරේදී ඒ අගය සටහන් වෙන්නේ 9%ක් ලෙසයි. ඒ අනුව මෙවර ශ්‍රි ලංකා මහ බැංකුව සිය විදෙස් සංචිතවලින් බිලියන 180ක් මුදා හැරීමට තටයුතු කර තිබෙනවා. අනෙක් කරුණ රුපියල අවප්‍රමාණය වීම ඉන්දියාව හා ශ්‍රී ලංකාව සමඟ සන්සදනාත්මක ලෙස සළකා බැලුවොත් ඉන්දියාවට ඉන් බොහෝ පාඩු සිදු වී තිබුණත් ශ්‍රී ලංකාවට එය විශාල පාඩුවක් සිදුවන බවට මුසාවාද පතුරන දේශපාලන න්‍යායපත්‍රලාභීන් ජනතාව නොමග යවමින් සිටින බවද  මෙහිලා සඳහන් කළ යුතුයි.ඉන්දියාව මෙම මාසය තුළ ඉන්දීය රුපියල් කෝටි තිස්හය දහසක් මුදා හැරිමට නියමිතව සිටිනවා. මේ සංචිත මුදා හැරිම හරහා රුපියලේ ස්ථාවරත්වය පවත්වා ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙන්නේ.

නමුත් මේ වෙද්දි අපේ රටේ අපනයන ආර්ථිකය තවත් ඉහළ නැංවීම හා තවත් කෙටිකාලීන මෙන්ම දිගුකාලිීන සැළසුම්වල රජය නිරත වෙමින් සිටිනවා. ආර්ථික විශේෂඥයන් පවසන ආකාරයට ආනයන හා අපනයන පාලනය මේ මොහොතේ වැගත්ම අවශ්‍යතාවක්. අනෙක් අතට ශ්‍රී ලංකාව විශාල වශයෙන් අමෙරිකාවට ඇගළුම් අපනයනය කරන රටක්. මේ නිසා ඇඟළුම් ක්ෂේත්‍රය තුළ කිසිදු පාඩුවක් හෝ කඩා ටීමක් සිදු නොවන බවද සඳහන් කළ හැකියි.

 

අපේ තෙල් මිල

 

ඒ වගේම ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යෑමට සාපේක්ෂව ඉන්දියාවේ තෙල් මිල දිනපතා වෙනස් වුණත් වර්තමාන ආණ්ඩුව බලයට පැමිණි 2015 වසරට සාපේක්ෂව තෙල් මිල තවමත් පවතින්නේ ඉතා පහළ අගයක බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙනවා.

 

 

2015 වසරේදී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල පැවතුණේ අමෙරිකා ඩොලර් 49.49 ක් ලෙසයි. එය මේ වන විට ඇමරිකා ඩොලර් 79.74 ක්. ඒ අනුව පසුගිය අවුරුදු තුනේදී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලය ඩොලර් 30.25 කින් වැඩි වී තිබෙනවා. ලෝකය පුරා තෙල් මිල සීග්‍රයෙන් ඉහළ යාම ඊට හේතුවයි.

ඉන්දීය රජය පසුගිය වසරේ ජුනි 16 වනදා සිට තෙල් මිල සූත්‍රයක් හඳුන්වා දුන්නා. ඒ අනුව දිනපතා උදෑසන 6 ට ඉන්දියාවේ තෙල් මිල වෙනස් වීම සිදු වනවා. පසුගිය සතියේදී එරට ප්‍රාන්ත තුනක ජනතාව තෙල් මිල ඉහළ යෑමට එරෙහිව ප්‍රබල විරෝධතා දැක්වූවා. එහෙත් මධ්‍යම ආණ්ඩුව අවධාරණය කළේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යෑමට සාපේක්ෂව සිදු වන මිල වෙනස්වීම් වලට බලපෑම් කළ නොහැකි බවයි. එසේ වුවහොත් රටේ ආර්ථිකය බරපතළ පසුබෑමකට ලක්වන බව ද ඉන්දීය ආණ්ඩුව පෙන්වා දී තිබුණා.

එහෙත් මෙරට වර්තමාන ආණ්ඩුව තවමත් ජනතාවගේ පැත්තේ සිට තෙල් මිල අවමයෙන් ඉහළ දැමීමට කටයුතු කරමින් සිටිනවා. 2015 ජනවාරි 08 වැනිදා ආණ්ඩුව බලයට පත්වන විට පෙට්‍රල් – 92 කාණ්ඩයේ ලීටරයක මිල සටහන් වූයේ රුපියල් 150ක් ලෙසයි. පසුගිය වසර තුනේදී බොරතෙල් බැරලයක මිල සියයට 40ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබියදීත්, තවමත් පෙට්‍රල් 92 කාණ්ඩයේ ලීටරයක මිල රුපියල් 149 ක් වනවා. පෙට්‍රල් 95 කාණ්ඩයේ ලීටරයක මිල රුපියල් 158 සිට 161 දක්වා රුපියල් තුනකින් පමණක් ඉහළ ගොස් තිබෙනවා. ඩීසල් ලීටරයක මිල වැඩි වී ඇත්තේ රුපියල් 111 සිට 123 දක්වා රුපියල් 12 කින් පමණයි. යහපාලන රජය පත්වන විට රුපියල් 81ක්ව පැවති භූමිතෙල් ලීටරයක වර්තමාන මිල රුපියල් 70 ක් වනවා. දේශපාලන අරමුණු මත කවුරුන් කෙසේ කීවත් ලෝක වෙළෙඳපොළ සමග ගැටෙමින් ජනතාවට සහන දෙන්නට ආණ්ඩුව තවදුරටත් උත්සාහ දරමින් සිටින බව පැහැදිලියි. ඉන්දියාව වැනි ආර්ථික බලයෙන් ශක්තිමත් රටවල් පවා ඒ සටන අත්හැර දමා තිබෙනවා. පසුගිය ආණ්ඩුව පෙට්‍රල් ලීටරයක් මත අය කළ රුපියල් 35ක තීරු බද්ද මේ ආණ්ඩුව රුපියල් 12 දක්වා අඩු කර තිබෙනවා. ඩීසල් ලීටරයක් මත පසුගිය ආණ්ඩුව රුපියල් 15ක තීරු බද්දක් අය කළා. එය මේ වන විට රුපියල් 4 ක් පමණයි.

 

පසුගිය ආණ්ඩුවේ ප්‍රධානීන්ට කොමිස් ලබාගැනීම සඳහාම අත්සන් කළ හෙජින් ගිවිසුම් නිසා රුපියල් බිලියන 10.2ක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අහිමි වුණා. 2016 අගෝස්තු 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝප් වාර්තාවෙන් ඒ බව තහවුරු කර තිබුණා. එවැනි තත්ත්වයක් යටතේ වර්තමාන ආණ්ඩුව තවදුරටත් ලෝක වෙළෙඳපොළ සමග සටන් කරමින් තෙල් මිල අවම අගයක පවත්වා ගැනීමට කටයුතු කිරීම අගය කළ යුතු කරුණක් බව ආර්ථික විශේෂඥයන්ගේ මතයයි.

 

රුපියලෙන් ගොඩයන්න හදන දේශපාලන පක්ෂ..

 

දේශපාලන වේදිකාවත් මේ දවස්වල බොහෝ උණුසුම්. ඒකාබද්ධ විපක්ෂයට රුපියල අවභාවිත වීම බොහොද හොඳ කටගැස්මක් වෙලා තිබෙන බව පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල මහත්මයාගේ නුවණක්කාර වදනකින් ම පැහැදිලි වෙනවා. මේ සටහන ලියන්නියගේ මතකය නිවැරදි නම් උදය ගම්මන්පිල කියන චරිතය 90 දශකයේ අපොස උසස්පෙළ වානිජ අංශයේ ලංකාවේ පළමුවැනියා වූ පුද්ගලයෙක්. හැබැයි මේ වෙද්දි දේශපාලනයට පැමිණීම නිසා එතුමන්ගේ දැනුම අවප්‍රමාණයට ලක් වීදෝ’යි සිතෙන තරමට ප්‍රකාශයන් සිදු කරන්න එතුමාට සිදු වෙලා තිබෙනවා.

පසුගිය 02වැනිදා පැවති මාධ්‍ය හමුවක ගම්මන්පිල මහත්මයා මෙන්න මෙහෙම කියනවා.

” මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට පැමිණීම ම මෙයට විසඳුමක් බවට පත් වෙනවා. මොකද මහින්ද රාජපක්ෂ යුගයේ රටේ ආර්ථිකය ස්ථාවර වුණු බැබළුණු යුගයක් බව ලෝකය පුරාම ආර්ථික විශේෂඥයන් දන්නවා. ඒ නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමාට රට බාර දුන්න ගමන් ආයෝජකයින් ලංකාවෙන් යන  එක නවතිනවා. රුපියල ස්ථාවර වෙනවා. ගිය ආයෝජකයෝ අලුත් ආයෝජකයෝ චීනය පෙරටුකරගෙන ආපහු ලංකාවට එන්න පටන් ගන්නවා. මොකද චීනය අද කිසිම අලුත් ව්‍යාපෘතියක් ලංකාවේ පටන් අරගෙන නැහැ. මහින්ද රාජපක්ෂ යුගේ පටන් ගත් ව්‍යාපෘති කරගෙන යනවා පමණයි.”

එහෙම කියන ගම්මන්පිල මහත්මයා තවත් කෝටි ගණනක් වියදම් වන පාර්ලිමේන්තු මැතිවරණයකට යාමෙන් රුපියලේ අගය ඉහළ දමා ගත හැකියි යන අදහස දෙමින්දෝ මෙහෙමත් කියනවා.

” ඒ නිසා මේ අර්බුදයට ඇති එකම විසඳුම හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා වැඩ බැරි අය ගෙදර ගිහින් රට කළ හැකි අයට මේ රට බාර දීමයි. 

 

 

රජය විසින් ගන්නා ප්‍රගතිශීලි පියවරයන් වෙනුවෙන් සියලු දේශපාලනඥයන් එක් විය යුතු කාලය එළඹ තිබෙනවා. රටේ ආර්ථිකය කඩා වැටුණේ වසර තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත බවට ඒත්තු ගන්වන පිරිස් පසුපස නොයමින් ජනතාව හරිහැටි අවබෝධ කර ගත යුතු කරුණු රාශිය අතර ප්‍රධානම කරුණ වන්නේ රාජපක්ෂ යුගයේ අධික ණය බර, විදෙස් ව්‍යාපෘති හා රටේ සම්පත් සින්නක්කරයටම ලියා දීම වැනි කාරණා හමුවේ ආර්ථිකය දිනෙන් දින කඩා වැටෙමින් ගිය බවයි.

බැරි වෙලා හෝ රාජපක්ෂ 2015 දී ජනාධිපතිවරණය ජය ගත්තේ නම් මේ ආර්ථික අර්බුදය දෙගුණ වන බව අමුතුවෙන් කිව යුතු නැහැ. ආර්ථික කඩා වැටීමක් අත ළඟ එන බව දන්නා නිසාම පසුගිය පාලකයා ජනාධිපතිවරණයක් කැඳවූයේ කාව රවටන්නදැයි ජනතාව විසින් ඇසිය යුතු කාලයක  යහපාලන රජය හෝ වේවා වෙනත් රජයක් හෝ වේවා පවතින රජයට දොස් කීම සාධාරණදැයි සිතා බැලීමට හොඳම කාලය දැන් උදා වී තිබෙනවා.

 

– ප්‍රව්දා සිවකුමාර් –

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 16:22
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්