සාමය හා සංහිදියාව ඇතිකිරීමේ අසීරු කාර්ය භාරය සාර්ථක කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මුළුමහත් ලෝකයටම ආදර්ශයක් සපයමින් සිටින බව නෝර්වේ විදේශ අමාත්‍යවරිය පවසනවා. ඔස්ලෝ නුවරදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ඇය මේ බව සදහන් කළා.
නෝර්වේ විදේශ ඇමතිනී ඉනේ එරික්සන් මහත්මිය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව පැවැත්වුණේ ඔස්ලෝ නුවර රාජ්‍ය අමුත්තන්ගේ නිල නිවසේදීයි. මෙහිදී නෝර්වේ විදේශ අමාත්‍යවරිය තවදුරටත් කියාසිටියේ ශ්‍රී ලංකාවේ සාමය හා සංහිදියා වැඩපිළිවෙළ සදහා තම රජයේ පූර්ණ සහාය ලබාදෙන බවයි. දෙරට අතර ආර්ථික හා දේශපාලන සබදතා ශක්තිමත් කිරීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරුණා. දෙරට අතර ආධාර දීම හා ලබාදීමේ සංකල්පයෙන් ඔබ්බට මෙම සබදතා ගෙනයා යුතු බවද අවධාරණය කෙරුණා. ඉන්දියන් සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්රයත්නය පිළිබදව ද කරුණු පැහැදිලි කෙරුණා.
ධීවර සම්පත් සංවර්ධනය හා ධීවර කර්මන්තයේ උන්නතිය සදහා නව තාක්ෂණය යොදා ගැනීම පිණිස දෙරටට ගත හැකි සාමූහික ක්‍රියාමාර්ග ගැනද අවදානය යොමුවුණා. ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජිත පොලිස් හා අපරාධ යුක්තිය පිළිබදව විශ්වවිද්‍යාලය සදහා තාක්ෂණික සහයෝගය ලබාදීමට ද මෙහිදී නෝර්වේ රාජ්‍යයේ එකගතාව පළවුණා. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතාන, කාවින්ද ජයවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනයක, නෝර්වේහි ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය අරූෂා කුරේ යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්වුණා.
මේ අතර නෝර්වේ හෝර්ටන් නුවර පිහිටි කොන්ස්බර්ග් මෙරිටයිම් සහ කොන්ස්බර්ග් නෝර්කොන්ට්‍රෝල් මධ්‍යස්ථානයේ සංචාරයකට ද අග්‍රාමාත්‍යවරයා එක්වුණා. නෝර්වේ සමුද්‍රීය ගමනාගමන මෙහෙයුම් පිළිබදව සොයාබැලීම සංචාරයේ අරමුණ වුණා. එම මධ්‍යස්ථානය වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස උණුසුම් ලෙස පිළගනු ලැබුවා. එය, එම ආයතනයේ උප සභාපතිවරුන් ඇතුළු නිලධාරීන් විසින්. මෙම මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු ක්ෂේත්‍ර තුනක් ඔස්සේ සිදුවන ආකාරය අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිසගේ නිරීක්ෂණයට ලක්වුණා. ඒ ධීවර කර්මාන්තය, ආරක්ෂක සහ ප්‍රවාහන කටයුතු පිළිබදවයි. මෙම මෙහෙයුම් පිළිබදව එහි ප්‍රධානීන් දීර්ඝ ලෙස කරුණු දැක්වූවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ අත්දැකීම් ලබාදීමට සූදානම් බව ඔවුන් ප්‍රකාශ කළා. එම අත්දැකීම් සහ දැනුම ලබාගත හැකි ආකාරය පිළිබදව අග්‍රාමාත්‍යවරයා දැඩි අවධානය යොමු කළා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/6643975577a0166e34da98927f924a2a_XL.jpg”]