2019 විසර්ජන පනත් කෙටුම්පත ලබන 9 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතායි එය ඉදිරිපත් කරන්නේ. ඒ අනුව ලබන වසරට අදාළ අයවැය යෝජනාව ලබන මස පස්වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2019 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සදහා අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. මේ අනුව ලබන වසරේ සමස්ථ රාජ්‍ය වියදම රුපියල් බිලියන 4376ක් වනවා. ලබන වසරේ අය වැය පරතරය රුපියල් බිලියන 644ක්. එය දළ දේශීය නිශ්පාදිතයෙන් සියයට 4.1ක් වන බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කරන්නේ.
2014 වසරේ දී දළ දේශීය නිශ්පාදිතයෙන් සියයට 11.5ක්ව පැවති රාජ්‍ය ආදායම වත්මන් රජය බලයට පත්වීමත් සමග ක්‍රමානුකූලව වැඩි කර ගැනුණා. ලබන වසර වන විට එය සියයට 15.1ක් දක්වා වැඩිවනු ඇති. එමෙන්ම වසර 63කට පසුව 2017 වසරේ දී ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් මුල්වරට වාර්තාවුණා. ලබන වසරේදී එම ප්‍රාථමික ගිණුමේ අතිරික්තය දළ දේශීය නිශ්පාදිතයෙන් සියයට 1.3කින් වර්ධනය වනු ඇති.
විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසර සදහා ණය සේවාකරණය වෙනුවෙන් රුපියල් බිලියන 2057ක් වෙන් කර තිබෙනවා. එය මෙරට ඉතිහාසයේ රජයක් විසින් ණය ගෙවීම සදහා දැරීමට සිදුවන විශාල මුදලකි. එම ණය අතුරින් ලබන වසරේ දේශීය ණය වශයෙන් රුපියල් බිලියන 1271ක් ගෙවිය යුතුයි. විදේශීය ණය සේවාකරණය ලෙස රුපියල් බිලියන 786ක් ගෙවීමට සිදුවනවා. එය දළ වශයෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 4650කට ආසන්න මුදලක්. ඒ අනුව අය වැය හිගය පියවීම ඇතුළු ණය සේවා කරණයේ ද අවශ්‍යතාව සදහා ලබන වසරේදී රුපියල් බිලියන 1944ක් දේශීය හා විදේශීය ණය වශයෙන් ලබා ගැනීමට රජය අපේක්ෂා කරනවා.