ශ්‍රී ලංකා තුළ ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ආරම්භ කිරීමට වැඩපිළිවෙළක්
Related Articles
ප්‍රවේණියක ලක්ෂණ හේතු කොට ගෙන ඇතිවන බෝවන සහ බෝනොවන රෝග දෙවර්ගයම සදහා ජානවලට අදාළව ඖෂධ නිර්ණය කිරීමේ කටයුතුවල පහසුකම් ඇති කිරිම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ජාන තාක්ෂණ ඒකකයක් ස්ථාපිත කිරිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර තිබෙනවා.
එම ඒකකය පිහිටුවිම පිළිබද යෝජනාව නව අයවැය යෝජනාවක් ලෙස නොවැම්බර් මාසයේ දී ප්‍රකාශයට පත්කිරිමටයි නියමිතව ඇත්තේ. ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ඇමරිකාවේ මේ වන විට ක්‍රියාත්මකය. වසර 2030 වනවිට දැනට පවතින වෛද්‍ය විද්‍යාව වෙනස් වී ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ක්‍රියාත්මකවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. පිළිකා තත්ත්වය කළින් අනාවරණය කර ගැනිම සහ කළමණාකරණය, බහු සාධක රෝග, මානසික ඌණ වර්ධනය වැනි අසාමාන්‍ය තත්ත්ව, තැලසිමියාව, හිමෝෆීලියාව වැනි රෝග තත්ත්ව සඳහා රෝගියාට ගැළපෙන පරිදි ඖෂධ සකස් කිරීමට මෙම වෛද්‍ය විද්‍යාවට හැකියාව තිබෙනවා. අධිකරණ වෛද්‍ය කටයුතු සදහා ද මෙම වෛද්‍ය විද්‍යාව ඉතා වැදගත්. මෙමගින් රෝගී සත්කාර සේවා සදහා වැය වන පිරිවැය ඉතා අඩු වනවා.
වර්තමානය වන විට රට තුළ ජාන රසායනාගාර 05ක් ස්ථාපිත කර තිබෙනවා. එම රසායනාගාරවලට අමතරව ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාවට අදාළ සියලුම පහසුකම්වලින් යුත් රසායනාගාරයක් සියලු උපකරණ සහිතව ඉදිකිරිම සදහා රුපියල් මිලියන 482ක් වැයවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. ඒ සදහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ද ඉදිරිපත් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.
ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව හදාරන ලද වෛද්‍යවරුන් 07ක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සේවය කරන අතර එම වෛද්‍යවරුන්ට ඇමරිකාවේ දී විශේෂ පුහුණුවක් ලබාදීමට යි නියමිතව ඇත්තේ.
ජාන තාක්ෂණ වෛද්‍ය ඒකකය ස්ථාපිත කිරිම සහ ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව පිළිබදව වෛද්‍යවරුන් පුහුණු කිරිම පිළිබද විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්වුණා. ඒ ඇමරිකාවේ හූස්ටන්වල වෙසෙන ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව පිළිබද ආචාර්ය බන්දුල විඡේරත්න මහතා සමඟයි. එහිදී ශ්‍රී ලංකාවේ ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ප්‍රචලිත කිරීම සදහා සියලුම සහයෝගය ලබාදීමට ආචාර්ය බන්දුල විඡේරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාට පොරොන්දු වී තිබෙනවා.