කාන්තා සනීපාරක්ෂක තුවා සදහා පනවා තිබූ සියයට 40ක සෙස් බද්ද ඉවත් කිරීමට රජය කටයුතු කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සමග ඊයේ(19) පැවති සාකච්ඡාවකින් අනතුරුවයි අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම තීරණය ගෙන තිබෙන්නේ. සියයට පනස් දෙකක් පමණ වන මෙරට කාන්තා ජනගහනය ජීවිත කාලයේ දී අනිවාර්යයෙන් අත්විදින ආර්ථවය සදහා අත්‍යවශ්‍ය කාන්තා සනීපාරක්ෂක තුවා සදහා පනවා තිබූ ඇතැම් බදු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පසුගිය දිනවල බලවත් විරෝධයක් මතුකර තිබුණා. ඒ පිළිබද අවධානය යොමු කළ යුතු බව අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය මාධ්‍ය හමුවක් ද කැදවුවා. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් රජය ඊට අවශ්‍ය කඩිනම් පියවර ගත්තා. ඒ අනුව සනීපාරක්ෂක තුවා සදහා පනවා තිබූ බදු ඉවත් කිරීමටයි කටයුතු කෙරුණේ.
මෙරට කාන්තාවන්ගෙන් සියයට තිහක් පමණක් සනීපාරක්ෂක තුවා භාවිත කිරීමට කටයුතු කරනවා. ඉතිරි සියයට හැත්තෑව ඒවා ප්‍රතික්ෂේප කරන්නේ ඒ සදහා දැරිය යුතු මිල පවා ඔවුනට ගෙවා ගැනීමට අපහසු නිසාවෙන්. ඇතැමෙක් සනීපාරක්ෂක තුවා වෙනුවට වෙනත් සනීපාරක්ෂක නොවන දෑ විකල්ප වශයෙන් භාවිත කිරීමටයි කටයුතු කරන්නේ. ඒ හේතුවෙන් කාන්තාවන්ගේ පෞද්ගලික සනීපාරක්ෂාවට ද ඇති වන්නේ මහත් තර්ජනයක්. ඒ සම්බන්ධයෙන් රජය ගත් මෙම පියවර අප රටේ කාන්තාවන්ගේ සෞඛ්‍ය සම්පන්න ජිවිතයට මහත් අත්වැලක් සපයනු ඇති.