ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති දිවංගත ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ 112 වන ජන්මෝත්සවය අදට යෙදී තිබෙනවා. ජේ. ආර්. ජයවර්ධන මහතා මෙරට දේශපාලන ඉතිහාසය තුළ කෘතහස්ත දේශපාලනඥයෙකු බව අවිවාදාත්මකයි. 1906 සැප්තැම්බර් 17 වෙනිදා උපන් ජූනියස් රිචඩ් ජයවර්ධන හෙවත් ජේ. ආර් ජයවර්ධන මහතා අවුරුදු 36 දී කැළණිය මන්ත්‍රිවරයා වශයෙන් දේශපාලන ජීවිතය ආරම්භ කළා. සිය දේශපාලන ජීවිතයේ වසර 15ක්ම ඔහු කැබිනට් අමාත්‍ය ධුර දැරුවා. ඒ අතරින් මුදල් අමාත්‍යවරයා සහ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස ඔහු අතින් ඉටු වූ සේවය අදටත් වලංගුයි. එසේම 1977 සිට වසර දහයක කාලයක් ඔහු රාජ්‍ය නායකයෙකු ලෙස ක්‍රියා කළා. 1970 සිට 1977 දක්වා වසර 07ක් ඔහු අසුන් ගත්තේ විපක්ෂනායක පුටුවේයි. ඔහුගේ ජීවිතයේ පරාජයක් මුණගැසෙන්නේ 1956 සිට 1960 දක්වා වූ සිව් වසරක කෙටි කාලය තුළ පමණයි.
1978 පෙබරවාරියේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති පදවියට පත්වන ජේ ආර් ජයවර්ධන මහතා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට විවෘත කළ, රාජ්‍ය නායකයා බව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව කවුරුත් පිළිගන්නා සත්‍යයක්. අති සාර්ථක කොළඹ ක්‍රමයත්, මහවැලිය කඩිනම් කිරීමත්, විවෘත ආර්ථිකය රටට හඳුන්වා දීමත් අප මෙතෙක් ආ සංවර්ධන ගමනේ ප්‍රධාන සන්ධිස්ථාන ලෙස සටහන්ව තිබෙනවා. අඩුවෙන් කතා කළ වැඩියෙන් ඇහුම්කන් දුන් සාර්ථක සංවර්ධන ඉලක්කයකට රට ගෙන යන්නට සමත්වූ බුද්ධිමත්ම දේශපාලනඥයා ජේ. ආර්. ජයවර්ධනයන් ලෙස ඉතිහාසයේ සටහන්ව තිබෙනවා. සටන් දිනාගැනීම සඳහා සත්‍යග්‍රහය සිය ජීවිතය කරගත් ජේ. ආර්. ජයවර්ධන මහතා ශ්‍රි ලංකාව අතික්‍රමණය කළ ආසියානු බුද්ධිමතෙකු ලෙස ගෞරවයට පාත්‍රවූවා. එක්සත් ජාතික පක්ෂය ලැබූ ඓතිහාසික පරාජයේදී ජේ. ආර්. ජයවර්ධන මහතා ජයග්‍රහණය තෙක් පක්ෂය ගෙන ආ උපායශීලී බුද්ධිමත් ක්‍රමවේදය වත්මන් තරුණ දේශපාලනඥයින්ට කදිම ආදර්ශයක් බව සටහන් කළ යුතුයි.
දිවංගත හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ 112 වන ගුණ සමරු උත්සවය පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ ජාතික සේවක සංගම් මූලස්ථානයේදී අද පැවැත්වුණා. පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ජේ ආර් ජයවර්ධන මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූවා. පක්ෂ ක්‍රියාකාරීන් රැසක් ද මෙම අවස්ථාවට එක්වුණා.