fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නොකළ වරදකට ම්ලේච්ඡ ලෙස ඝාතනය වූ ඇෆ්ඝන් “ගැහැණිය” – ෆඛුන්ඩා මලික්සාදා

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2018 15:28

නොකළ වරදකට ම්ලේච්ඡ ලෙස ඝාතනය වූ ඇෆ්ඝන් “ගැහැණිය” – ෆඛුන්ඩා මලික්සාදා

අම්මා.. අපි හැම කෙනෙක් ම අපේ අම්මාට ආදරෙයි. මිනිස්සු විතරක් නෙවෙයි සතුන් පවා තමන් ගේ මව එක්ක තියෙන සමීප බැඳීම අපි දැකලා තියෙනවා. මේ ලියන්නේ අම්මා ගැන ලියමනක් කියා සිතන ඔබට තවත් මොහොතක් මේ ලියන අකුරු එක්ක පොරබදන්න මම ආරාධනා කරනවා. මොකද මේ ලිපිය තව ටික වෙලාවක් යද්දි කියවන්න ඔබට අපහසු වෙන බව මම දන්න නිසා.

මේ ලෝකයේ හැම මවක් ම ගැහැණියක්. අපි කියන්නේ එහෙම. මම හරිද? හැබැයි අපිට අමතක වෙන දෙයක් තමයි හැම ගැහැණියක් ම මවක් කියන කාරණය. ගැහැණිය කියන වචනය ස්ත්‍රිය, කාන්තාව කියන වචනවලට වඩා පපුවට දැනෙන නිසා මම ඒ වචනයෙන්ම ලිපිය අරඹන්නම්. මම කියන්න යන්නේ කවදා හරි මවක් වෙන්න හිටපු ගැහැණියක් ගැන. ජීවිතේ හුඟක් බලාපොරොත්තු ඇයටත් තිබෙන්නට ඇති. කවදා හෝ තමන් පතිනියක වන දිනයක ආදරය සෙනෙහස ලබා දෙන පිරිමියෙක් ගැන සිහින දකින්න ඇති. ඒ විතරක්ද? මව් පදවිය ලැබූ ගැහැණියක ලෙස සමස්ථ පිරිමි සංහතියේම ගරුත්වය ලැබිය හැකි මවක් වන්නට ඇය සිහින මවන්න ඇති. ඒත්… ඒ හැම සිහිනයක් ම අකාලයේ හසු වූ  ගින්නකින් පිච්චිලා අලු වෙලා යන්න තරම් ඇය අවාසනාවන්ත වෙනවා.

මේ සටහන ඒ නිර්දෝෂී ගැහැණිය වෙනුවෙන්…

 

 

“ෆඛුන්ඩා මලික්සාදා”…. ඒක තමයි ඇයට මව්පියන් තැබූ නම.  ඒ නමේ පර්සියානු අරුත ශුද්ධ වූ බව යන්නයි. හදවතින්ම ඉස්ලාම් භක්තිකයෙක් වූ මේ හිජාබය පැළඳ සිටි ගැහැණිය ආගමික අධ්‍යයනය සම්බන්ධ උපාධිධාරිනියකද වනවා. ඒ වෙද්දි ඇය සිටියේ ගුරු වෘත්තියට පිවිසීමේ බලාපොරොත්තුවෙන්. මීට වසර 3ට පෙර ඇය අභාග්‍යසම්පන්න සිදුවීමකට මුහුණ දෙද්දී ඇයට වයස අවුරුදු 27ක්.

ඒ 2015 මාර්තු මාසේ 19වැනිදායි. ඇය සිටියේ ඇෆ්ඝනිස්තානයේ කාබුල් අගනුවර ශාහ් -ඩෝ -ශම්ශිරා (Shah-Do Shamshira) ඉස්ලාම් දේවස්ථානයේයි. ඇය එහි ගුරුවරියක ලෙස කටයුතු කරමින් සිටියා. මේ සිදුවීම වෙන්නට පෙර ඇය මේ දේවස්ථානයේ සයිනුද්දීන් නම් මුල්ලාහ් වරයෙකු සමඟ යම් කාරණයක් සම්බන්ධයෙන් තර්ක විතර්කවල යෙදී තිබුණා. ඒ ඔහු තමන්ගේ ආගමට නිග්‍රහ වන අයුරින් සිදු කළ විවිධ ක්‍රියා සම්බන්ධයෙනුයි. ගැහැණියක තමාගෙන් මේ අයුරින් ප්‍රශ්න කිරීම ඔහු තවදුරටත් ඉවසුවේ නැහැ. ඒ නිසා ශුද්ධ වූ කුරාණයේ පිටපතක් පුළුස්සා දැමූ බවට සයිනුද්දීන් ඇයට චෝදනා කළා.  

 

මුල්ලාහ්වරයා – සයිනුද්දීන්

 

” මම ඉස්ලාම් භක්තිකයෙක්. ඉස්ලාම් භක්තිකයන් කවදාවත් ශුද්ධ වූ කුරාණය පුච්චන්නේ නැහැ”

ඇය නිර්භීතව කිව්වා. ඇය බුද්ධිමත් වගේම භක්තිමත් ගැහැණියක්. ඇයට කිසිම මොහොතක අවශ්‍ය වුණේ නැහැ ගැටුමක් ඇති කර ගන්න. මුල්ලාගේ චෝදනාවලට ඇහුම්කන් දීමෙන් කෝපාවිෂ්ට වූ සිවිල් වැසියන් සිය ගණනක් පූජනීය ස්ථානයට පැමිණියා. ඔවුන් කෝපයෙන් ඇවිලෙන්න පටන් ගත්තා. ඔවුන් ෆඛුන්ඩා ට එළියට එන ලෙසට තර්ජනය කළා.  “ඇයව මරා දැමිය යුතුයි”, ” ඇය ඇමරිකානු ඔත්තුකාරියක්” ඔවුන් විවිධ දේ කියන්න පටන් ගත්තා.

අවසානයේ ඔවුන් ඇයව එළියට ඇදලා ගත්තා. පිරිමි සීයකට වඩා ෆඛුන්ඩා ව වට කර ගත්තා. ඔවුන් දිගට හරහට ඇයට පහර දෙන්න පටන් ගත්තා. අතින් පයින්… ඒ වගේම උඩ පනිමින් සහ ඇගේ හිස පාගමින්… ඔව් මේ වචන හරිම දරුණුයි. ඒ වගේ ම  ඔබේ හිත රිදවනසුළුයි. ඒ හැම දෙයකටම වඩා මේ සිදුවීම අකුරු කරන්න මට හරිම අමාරුයි. ඒත් මට අවශ්‍යයි ඔබට මේ කතාව කියන්න. ඒ නිසා තව ටිකක් ඉවසන්න.

 

 

ඉතින්.. ෆඛුන්ඩාට මෙහෙම පහර දෙමින් හිංසා කරමින් වගේම බැණ වදිමින් ඉන්න අතරේ ඇෆ්ඝන් පොලිසිය එතැනට එනවා. පොලිස් නිළධාරීන් එතැනට ඇවිත් ෆඛුන්ඩා ව සැතපුමක් දුරින් තිබෙන ගොඩනැගිල්ලකට රැගෙන යන්න උත්සාහ කළත් ෆඛුන්ඩා එය ප්‍රතික්ෂේප කරනවා.  ” මාව අරන් යන්න  කාන්තා පොලිස් නිළධාරියෙක් ට එන්න කියන්න.” ඇය කිව්වා.

මේ මැරයන් ඇයව වීදිය දිගේ ඇදගෙන යනවා. ඉන්පස්සේ නැවතත් ඇයට පහර දෙනවා. අතින් පයින්… ඒ වගේම උඩ පනිමින් සහ ඇගේ හිස පාගමින්… ඔව් මේ වචන හරිම දරුණුයි.. මම ආපහු කියනවා. මම ඔබෙන් ඉල්ලනවා  ඉවසීමෙන් කියවන්න කියලා.

පොලිස් නිළධාරීන් තව තවත් මේ ස්ථානයට එනවා. ඇෆ්ඝන් ජනාධිපති මන්දිරයට මේ දේවස්ථානයේ ඉඳලා තිබෙන්නේ සැලපුම් දෙකක් වගේ පොඩි දුරක්. මේ සිදුවීම නිසා පාර අවහිර වෙනවා වගේම වාහන තදබදය පවා වැඩි වෙනවා. පොලිස් නිළධාරීන් අහසට වෙඩි තියමින් මේ කලබලය අඩු කරන්න කටයුතු කරනවා. ඒත් මේ කලහකරුවන් ඔවුන් ට කිව්ව් එකම දෙයයි.

 

 

” මේ ගැහැණිය ගැන බලා ගන්න අපට දෙන්න සහෝදරයා. අපි මේක බලා ගන්නම්.”

පොලිස් නිළධාරීන් ට ඔවුන් ව පාලනය කර ගන්නට බැහැ. කෝපයෙන් සහ වෛරයෙන් කුපිත වුණ මිනිසුන් පිස්සුවෙන් වගේ ෆඛුන්ඩාට පහර පිට පහර එල්ල කරන්න හෙව්වා. මේ කලබල අතරේ ඇෆ්ඝන් පොලිසිය  කොහොම හරි ඇයව ඇතුළට රැගෙන යන්න සමත් වුණා. ඒත්… “අල්ලාහ් හු අක්බර්” කියමින් මේ මැර පිරිස ඔවුන්ගේ පූජනීය දේවස්ථානයේ තාප්ප බිත්තිවලට හානි කරන්න පටන් ගත්තා. වහලා තිබුණ පිවිසුම් දොරටු හා තාප්ප මතින් නගිමින් ඔවුන් මේ ගැහැණියව සොයාගෙන එන්න පටන් ගත්තා. හරියට ගොදුරක් හොයන කොටියෙක් වගේ ඔවුන් ඇය වෙතට ඇදුණා. ඔවුන් දිගින් දිගටම කිව්වේ ෆඛුන්ඩා ඇමරිකානු ඔත්තුකාරියක් කියලා.

 

 

එන්න එන්නම පිරිස වැඩි වුණා. ඇෆ්ඝන් පොලිසිය ෆඛුන්ඩාව බේරගන්න ගොඩනැගිල්ලක වහළයකට ගොඩ වුණා. නිළධාරීන් ඇයව ඔවුන් වෙතට ඇදලා ගන්න උත්සාහ කරමින් හිටියා. කෝපාවිෂ්ඨ වූ මිනිසුන් ගල්වලින් වගේම ලීවලින් සහ ලෑලි පියන්වලින් ෆඛුන්ඩාට දමා ගසන්නට පටන් ගත්තා. ඒ අතරේ එක පුද්ගලයෙක් ඇයගේ කකුලෙන් ඇද්දා. සියලු උත්සාහයන් ව්‍යවර්ථ කරමින් ෆඛුන්ඩා මලික්සාදා ගොදුර සොයමින් හිටපු මෘගයින් මැදට ඇද වැටුණා. ඔව්, ඇය ඇද වැටුණා.

ඔව්, මම දන්නවා ඔබ හිතන දේ. ඇයට කළින් අවස්ථාවක් ආවා මේ මැරයින්ගෙන් මිදී පලා යන්න. ඒත් ඇය එය ප්‍රතික්ෂේප කළා. ඒ මොහොතේ ඇය පලා ගියා නම්… කතාව තවම ඉවර නැහැ. ඔබට කියවන්න මේ කතාව ලිවීමම අමාරු දෙයක්.. හරි ආපහු මාතෘකාවට එන්නම්.

බිමට ඇද වැටුණ ෆඛුන්ඩාට  තේරුණා ඇගේ හිස ආවරණය කරගෙන සිටි හිජාබය නැති බව. ඇය තමන්ගේ හිජාබය වෙනත් අයෙකු ගාව තිබෙන ආකාරය දකිනවා. ” මගේ හිජාබය දෙනවද?” ඇය ඔහුගෙන් ඉල්ලුවා.

 

” මගේ හිජාබය දෙනවද?” ඇය ඔහුගෙන් ඉල්ලුවා.

 

එවිටම පසුපසින් සිටි පුද්ගලයෙක් ඇයට පහර දුන්නා. ෆඛුන්ඩා ආපහු ඇද වැටුණා. ලී පතුරු, ලෑලි සහ පොලු පහරින් මේ තනි ගැහැණියට සංග්‍රහ කරන්න ඇයව වටකරගෙන සිටි මිනිසුන් යුහුසුළු වුණා. රුධිරයෙන් නෑවුණ ෆඛුන්ඩාට තේරෙන්න ඇති ඇයට ගැලවීමක් නැති බව. ඇය නොසෙල්වී සිටියා.“ඇති තරම් පහර දීපුදෙන්” ඇයට එහෙම හිතෙන්න ඇති. මොකද තවදුරටත් සටන් කරන්න ඇයට හයියක් නැහැ. මේ සියල්ල දෙස ඇෆ්ඝන් පොලිසිය බලාගෙන හිටියා. ගොඩනැගිල්ලක් උඩට වී ඔවුන් මේ සියල්ල බලාගෙන හිටියා.

ඉතින් ඇය මිය ගියාද???

නැහැ..ඔවුන්ට තේරුණා ෆඛුන්ඩා තවමත් ජීවතුන් අතර බව. ඔවුන් එතැනින් නැවතුණේ නැහැ. ඒ වෙද්දිත් දහස් ගණනක් පොර කකා රැස්වෙලා හිටපු වීදියට ෆඛුන්ඩාව ඇදගෙන ගියා. දැඩි වාහන තදබදයක් එතැන තිබුණේ. එතැන තිබුණ මෝටර් රථයක් ඉදිරියෙන් ඇගේ සිරුර තැබූ ඔවුන් මෝටර් රථ හිමිකරුවාට එය පදවන්න අණ කළා. මෝටර් රථය ෆඛුන්ඩාගේ සිරුර මතින් ඇදුණා. ඇගේ සිරුරත් ඒත් එක්කම ඇදිලා ගියා. ඔව්, ෆඛුන්ඩා මලික්සාදා අවසන් ගමන් ගියා. 

කතාව ඉවර නැහැ. ඒ වගේම මිය ගිය ෆඛුන්ඩාව එතැනින් නිදහස් කරන්න ඔවුන් කැමති වුණේ නැහැ.

 

 

” ඔය පව්කාර ගෑණිව ගඟට ගිහින් දාන්න,බල්ලන්ට කන්න දාන්න” හැමෝම එහෙම කිව්වා. කුරාණය පිළිස්සීමට ඇයට දිය යුතු වූ හොඳම දඬුවම තමයි ඒක. ”පුච්චපල්ලා, ගිනි තියපල්ලා..” සමහරු එහෙමත් කිව්වා. ඒත් එක්කම ඒ අසළම තිබූ ගං ඉවුරට ඇගේ සිරුර අරගෙන ගිය මේ පිරිස ඇයව එක තැනක තබලා නිකම් හිටියේ නැහැ. මළ සිරුරට එතැන තිබූ විශාල ගල්කුට්ටිවලින් පහර දුන්නා. අතින් පයින්… ඒ වගේම උඩ පනිමින් සහ ඇගේ හිස පාගමින්… ඔව් මේ වචන හරිම දරුණුයි.. මම ආපහු ආපහු කියනවා. මම ඔබෙන් ඉල්ලනවා  ඉවසීමෙන් කියවන්න කියලා.

සියල්ල අවසානයේ ඔවුන් ඇගේ සිරුරට ගිනි තිබ්බා. හැබැයි ඇගේ සිරුර පිළිස්සුණේ නැහැ. මොකද පහර දීම් නිසා මුළු සිරුරම රුධිරයෙන් පෙඟිලා තිබුණා. මේ කෲර මිනිසුන් තමන් ඇඳගෙන සිටි ඇඳුම් ගලවලා ඇගේ සිරුර මතට දැමුවා.

 

ගිනි තැබූ ෆඛුන්ඩා මලික්සාදාගේ සිරුර

 

මරා දමන වීඩියෝව අන්තර්ජාලයට..

මේ ම්ලේච්ඡ අවසානයකට මුහුණ දුන් 27 හැවිරිදි ෆඛුන්ඩා මලික්සාදාගේ අවසන් හෝරා කිහිපය වීඩියෝව දුටු මුළු ඇෆ්ඝනිස්තානයම කම්පාවට පත් වුණා. ආගමේ නාමයෙන් ම්ලේච්ඡ ලෙස ගැහැණියක වට කරගෙන පහර දෙන වීඩියෝ පට මේ පිරිස් විසින්ම අන්තර්ජාලයට එක්කර තිබුණා. ඔවුන් හිතුවා ඒ ක්‍රියාව වීරකමක් කියලා.  හැබැයි අහිංසක ගැහැණියකට දුන්න අප්‍රමාණ වධහිංසාව පාරා වළල්ලක් වෙලා ඔවුන්ටම කැරකේවි කියලා ඔවුන් නොහිතන්න ඇති.

මුළු රටක්ම විතරක් නෙවෙයි, ලෝකයක්ම බලන් හිටියා.. මැරයන් පිරිසක් පූජනීය ධර්මයක් විකෘති කරමින් ගැහැණියකට පහර දෙන ආකාරය, තවත් පිරිසක් එය ජංගම දුරකතන මගින් පටිගත කරන ආකාරය වගේම රටේ නීතිය ආරක්ෂා කරන්න බැඳිලා  ඉන්න පොලිස් නිළධාරීන් පිරිසක් බකන්නිලාගෙන සිටි ආකාරය… මුළු ලෝකයක් ම දුටුවා. මේ මරා දැමීම සාධාරණීකරණය කරන්න ඇෆ්ඝනිස්තාන රාජ්‍ය නිළධාරීන් බොහෝ දෙනා මුහුණ පොත පැත්තට හැරෙන්නේ මේ අතරේදීයි. කාබුල් පොලිස් මාධ්‍ය ප්‍රකාශක Hashmat Stanekzai මේ මරණය ගැන කිව්වේ මෙහෙම දෙයක්.

” තමන්ගේ ආගම ධර්මය විශ්වාස නොකරන්නන් මේ වගේ ක්‍රියාවන් තුළින් ජාත්‍යන්තරයේ අවධානය ගන්න උත්සාහ කරනවා.ඇමරිකානු හෝ යුරෝපීය රටක පුරවැසිභාවය ලබා ගන්න එක තමයි ඔවුන්ගේ අරමුණ වෙන්නේ. හැබැයි ඒ අරමුණට ළඟා වෙන්න කළින් ඔවුන් තමන්ගේ ජීවිත අහිමි කර ගන්නවා”.

මට අවශ්‍යයි ඒ වීඩියෝ පටය ඔබට පෙන්වන්න.. ඒත් සමාවෙන්න. එය පෙන්වන්න තරම් හයියක් මට නැහැ. ඒ නිසා සිදුවීම පැහැදිළි කිරීමේ වගකීම පමණක් මම භාර ගන්නවා.

 

මේ සිදුවීමෙන් දින දෙකකට පසු:

ෆඛුන්ඩා මේ සිද්ධියට වැරදිකාරියක නොවන බව තහවුරු වුණා. ඇය සම්පූර්ණයෙන් ම නිර්දෝෂී බව සොයා ගත්තා. මේ තහවුරු කර ගැනීමත් සමඟම  ජාත්‍යන්තර සංවිධාන කුපිත වුණා. මානව හිමිකම් ක්‍රියාකාරිකයන් මේ සිදුවීම වෙනුවෙන් පෙනී සිටින්න වුණා. සිය දහස් ගණනින් මිනිසුන් ෆඛුන්ඩා වෙනුවෙන් පෙනී සිටින්න පටන් ගත්තා. මාර්තුවේ 23වැනිදා මිනිස්සු පාරට බැස්සා. ඔවුන් ෆඛුන්ඩාව මරා දමා පිළිස්සූ කාබුල් නදිය වෙත පාගමනින් ගියා. මේ පාගමනට එක් වූ කාන්තාවන් රුධිරය වෑස්සුණ ෆඛුන්ඩාගේ මුහුණ රැගත් වෙස් මුහුණු පැළඳ සිටියා.

 

 

කාබුල් ප්‍රාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ෂුක්රියා බරක්සායි කියන්නේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක්. ඇය අල් ජසීරා පුවත් අඩවියට මෙහෙම කියනවා.

” මේ කුරිරු ඝාතනයෙන් මුළු කාබුල් නගරයම ගිනි ගත්තා. මේක මුළු රටටම කාන්තා අයිතීන් ගැන වඩාත් විමසිල්ලෙන් කටයුතු කළ යුතු බවට කියා දෙන ලොකු පාඩමක්. මේක ස්ත්‍රි/පුරුෂ ගැටලුවක් නෙවෙයි. මේක මුළු මහත් මනුෂ්‍ය වර්ගයාගේම අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයක්. මිනිමරුවන් අධිකරණය හමුවට ගෙන එනතුරු අපි මේ සටන කිසිසේත් අත හරින්නේ නැහැ.” 

මාර්තු 24 මේ විරෝධතාවයේ උච්ඡතම අවස්ථාවක් විදියට විරෝධතාකරුවන් කාබුල් නුවර පිහිටි අධිකරණ අමාත්‍යංශය ඉදිරිපිට  විරෝධතාවක් දියත් කිරීම පෙන්වා දිය හැකියි . ඔවුන් යුක්තිය වෙනුවෙන්  හඬ නැඟුවා. ගැහැණු පිරිමි බේදයකින් තොරව මේ අසාධාරණයට යුක්තිය ඉටු කරන්න කියලා ඉල්ලා සිටියා.

 

 

මේ විදියට බොහෝ දෙනා සටනට අවතීර්ණ වෙන පසුබිමක ෆඛුන්ඩා ගේ පියා ඇෆ්ඝනිස්තාන පොලිසියට චෝදනා කරමින් කියා සිටියේ මේ සිදුවීම ඔවුන්ට හොඳින්ම වළක්වා ගත හැකිව තිබූ බවටයි.  කොහොම වුණත් දැන් සියල්ල සිදු වී අවසන්.

 

ජනාධිපති ඝානි මැදිහත් වෙයි..

ඇෆ්ඝන් ජනාධිපති අෂ්රෆ් ඝානි මේ ගැටලුව විසඳීම සඳහා ඉදිරිපත් වෙන්නේ තත්ත්වය එන්න එන්නම දරුණු වෙමින් යන පසුබිමකයි. ඔහු වහාම ක්‍රියාත්මක වන පිරිදි පරික්ෂණයක් සිදු කරන ලෙස බලධාරින්ට  නියෝග කරනවා. ඒ වගේම විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ ඝාතනය හෙළා දකිනවා. ” මේක හරිම ඛේදනීය තත්වයක්, ඇෆ්ඝන් පොලිසිය තලේබාන් කැරළිකරුවන් මර්දනය කිරීම කෙඓහි ඕනෑවටත් වඩා උන්නදු වන අතර ප්‍රාදේශීය ආරක්ෂාව සම්බන්ධයෙන් දක්වන උනන්දුව අඩු බව මේ සිදුවීමෙන් පෙනී යනවා.” 

 

 

සමාජ මාධ්‍යවලට මුදා හැර තිබූ වීඩියෝපට අනුව යමින් පුද්ගලයන් නව දෙනෙක් හඳුනා ගැනීමට මේ අනුව හැකි වෙනවා. අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පසුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මේ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයන් 28 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූ බවයි. පොලිස් නිළධරීන් 13 දෙනෙකු ද වැඩ තහනමට ලක් වෙනවා. මේ අතර කාබුල් පොලිස් මාධ්‍ය ප්‍රකාශක Hashmat Stanekzai සමාජ මාධ්‍ය ඔස්සේ ෆඛුන්ඩා ගේ ඝාතකයන් ට සහාය වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් ධුරයෙන් ඉවත් කරනු ලබනවා. අන්තිමට ඇෆ්ඝන් ආගමික කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ කියා සිටිනවා.

” ෆඛුන්ඩා මලික්සාදා” නම් තරුණිය ශුද්ධ වූ කුරාණය පුළුස්සා දැමූ බවට කිසිදු සාක්ෂියක් නැහැ.”

 

නඩු විභාගය ඇරඹෙයි..

ෆඛුන්ඩාගේ මරණය සහ ඇෆ්ඝන් නීති ක්ෂේත්‍රය තුළ ඒ සම්බන්ධයෙන් වූ අවධානය නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සම්බන්ධයෙන් ඇෆ්ඝනිස්තානය තුළ පැවති ගැටලු රාශියක් මතු කරන්නට සමත් වුණා. දශකයකට වඩා වැඩි කාලයක් තිස්සේ වරින් වර ඇෆ්ඝන් කාන්තා අයිතීන් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් සංවාදගත වෙමින් තිබූ කාරණා සියල්ල මතුකරන්නට මේ සිදුවීම සමත් වුණා.

 

 

2015 මැයි මාසේ 15 වැනිදා උදා වුණා. ෆඛුන්ඩාට සාධාරණය ඉටුවන දිනය වෙනුවෙන් මුළු ලොවක් ඇෆ්ඝනිස්තානය දෙස බලාගෙන සිටියා. ඒ මොහොතේ විශ්වාස කළ හැකිව සිටි අති දක්ෂ  විනිසුරු  සෆිඋල්ලාහ් මොජාඩේඩි (Safiullah Mojadedi) තමන්ගේ නඩු තීන්දුව ලබා දුන්නා. මේ නඩු විභාගය ඇෆ්ඝනිස්තාන මාධ්‍ය හරහා සජීවව විකාශනය කිරීමටත් බළධාරීන් කටයුතු කරනවා.

 

 

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් 49 දෙනෙකුගෙන් මොහොමඩ් යාකොබ්, මොහොමඩ් ශරිෆ්, අබ්දුල් බාශිර් සහ සයිනුද්දීන් යන  සිව් දෙනාට  මරණීය දණ්ඩනය හිමි වුණා.ඉන් මොහොමඩ් යාකොබ් කියන්නේ වයස අවුරුදු 16ක බාල වයස්කරුවෙක්. ඔහු ෆකුන්ඩා ගේ හිසට විශාල ගලකින් පහර දෙන ආකාරය වීඩියෝ පටයේ ඇතුළක් වී තිබුණා. තවත් විත්තිකරුවන් 8 දෙනෙකුට වසර 16ක සිර දඬුවම් නියම කෙරුණා. ඒ වගේම පොලිස් නිළධාරීන් 11 දෙනෙකුට වසරක සිර දඬුවම බැගින් හිමි වුණා. ඒ අවම බලය භාවිත කර හෝ ෆඛුන්ඩා ආරක්ෂා කර ගැනීමට හැකියාව තිබියදීත් එසේ නොකිරීම හේතුවන්.

කොහොම වුණත් මරණීය දණ්ඩනය එල්ල වූ චූදිතයන් සිව් දෙනා අභියාචානාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කරන්නට කටයුතු කළා. ඒ අනුව නඩුව අභියාචනාධිකරණයේදී නැවත විභාග වූ අතර 2015 ජූලි 05 වැනිදා අභියාචනාධිකරණය විසින් මරණීය දණ්ඩනය  නිෂ්ප්‍රභ කරමින් ඉන් තිදෙනෙක්ට  වසර 20ක සිර දඬුවමක් නියම කරනවා. යාකොබ්  ගේ මරණ දඬුවම වසර 10ක සිර දඬුවමකට  අඩු කරනවා.ඒ වගේම ෆඛුන්ඩාව ඝාතනයට ලක් වූ ෂා-දෝ ශම්ෂිරා දේවස්ථානයේ භාරකරු හා කාබුල් පොලිස් ප්‍රධානියා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කරනවා. ඒ විතරක් නෙවෙයි වසරක සිර දඬුවම් ලද පොලිස් නිළධාරීන් 11 දෙනා ඇප මත නිදහස් කිරීමටත් නියෝග තරනවා.

 

 

මෙවර අභියාචන නඩුව විමසන්නේ ඉතාම රහසිගතව හා කිසිදු මාධ්‍ය ආවරණයකින් තොරව වීම විශේෂ කරුණක්. කෙසේ වෙතත් ඇෆ්ඝන් ශ්‍රේෂ්ඨාධිකරණය මේ අධිකරණ තීන්දුව යළි තහවුරු කරනු ලබනවා.

 

අවසානය..

ෆඛුන්ඩාගේ මරණයෙන් දින තුනකට පසුව දහස් ගණන් පිරිස් ඇගේ මළගමට එක්වෙනවා. ඇගේ සිරුර රැගත් දෙන ඔසවාගෙන යාමට ඉස්ලාම් චාරිත්‍ර අනුව අවසර තිබුණේ පිරිමි පාර්ශ්වයට පමණයි. ඒ චාරිත්‍රය ඒ අයුරින්ම කිරීමට පිරිසක් පැමිණෙනවා. නමුත් ෆඛුන්ඩාට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් වීදි බැස සටන් කළ ගැහැණුන් එයට ඉඩ දෙන්නේ නැහැ.

” එදා දහස් ගණනින් පිරිමි වටවෙලා ෆඛුන්ඩාටපහර දීලා, පාර දිගේ ඇදගෙන ගිහින්, වාහනයකට යට කරලා මරලා, කාබුල් ගං ඉවුරට ගෙනත් දාලා ගිනි තියද්දි ඔයාලා කොහෙද හිටියේ? ඇයි එදා ඉදිරිපත් නොවුණේ?අපිට පුළුවන් ෆඛුන්ඩාව අරගෙන යන්න.”

ඔවුන් පැවසුවා. මේ යන අතරමඟ ඔවුන්ට ෆඛුන්ඩා ගේ පියා මුණ ගැහුණා.

” මගේ දුව වෙනුවෙන්, ඇයට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් කැප වුණ පෙනී හිටපු මේ අය මගේ ම දුවලා වගේ. ඒ නිසා ඔවුන්ට ෆඛූන්ඩාව අරන් යන්න දෙන්න”.

ඔවුන් සුසානයට එනතුරු ෆඛුන්ඩාව රැගෙන ගියා. කිසිවෙක් මේ සිරිත කඩ කිරීම ප්‍රශ්න කිරීමට ඉදිරිපත් වුණේ නැහැ.

 

 

 

 

“අපි අරගෙන ගියේ නිකන්ම නිකම් මළ සිරුරක් නෙවෙයි. අපි අරගෙන ගියේ වීරවරියකගේ සිරුරක්.මෙය ආරම්භය පමණයි. අපි ඇෆ්ඝන් කාන්තාවන් වෙනුවෙන් තවදුරටත් කැප විය යුතු බව ඇෆ්ඝනිස්තාන රජයට මතක් කර දුන්නා” ඔවුන් කියනවා.

ෆඛුන්ඩා මලික්සාදා.. සිය දිවි දෙවැනි කොට තමන්ගේ ආගමට ආදරය කළ “ගැහැණියක්”. ඇයට පහර දෙන වාරයක් පාසා ඇය ”අල්ලා හු අක්බර්” යනුවෙන් හඬ නැඟුවා. ඒ තරම් භක්තිමත් ගැහැණියකට තම්නගේ ශුද්ධ වූ කෘතියක් පුළුස්සා දමන්න කිසිසේත් හැකියාවක් නැහැ. ඇයට එතැනින් බේරී පලා යන්න හැකියාව තියෙද්දිත් ඇය කාන්තා පොලිස් නිළධාරිනියක් පැමිණෙනතුරු රැඳී සිටියා. මිය යන මොහොතේත් ඒ ආගමික න්‍යායන් කඩ කරන්නට ඇයට අවශ්‍ය වුණේ නැහැ.

ඇය නික්ම ගොස් අවසන්. ඔව් මේ වචන හරි අමාරුයි.. ඔබ සැප පහසුවෙන් වාඩිවෙලා කියවන මේ සටහන ලිවීමම පූර්වයේ කළ පාපකර්මයක්. නමුත් මෙවැනි සිදුවීම් ගැන තව තවත් ලෝකයට විවර කළ යුතුයි. ෆඛුන්ඩා සමුගත්තේ ඇෆ්ථනිස්තානය තුළ කාන්තාවට ඇති තැන මනාව පෙන්නුම් කරමින්. ඒ වගේම ඇෆ්ඝන් නීති ක්ෂේත්‍රයේ ඇති දුර්වලතාවය ලෝකයම දුටු සිදුවීමක් බවට ෆඛුන්ඩා ගේ මරණයෙන් පෙන්වා දිය හැකියි. නීතියට ස්ත්‍රී පුරුෂ බේදයක් නැති බව වටහා ගැනීමට ඔවුන්ට කවදා හැකි වේවිද යන්න ගැටලුවක්..

 

 

ෆඛුන්ඩා මලික්සාදා ම්ලේච්ඡ ලෙස මරා දැමූ ස්ථානයේ ඇය වෙනුවෙන් තැනූ ස්මාරකය

 

ලියූ දේට වඩා මෙහි නොලියූ දේ බොහෝයි. ඒ බොහෝ දේ සටහන් කිරීමට යම් යම් ස්වයං වාරණ දමා ගනිමින් ම ලිපිය අවසන් කරනවා.

” ගැහැණිය කියන්නේ සුන්දර වස්තුවක්. සමාජ සම්මතය තුළ ගැහැණිය ඇය සියුමැලියි. අහිංසකයි. සංවරයි. පුරුෂයා මතම පිහිටා ක්‍රියා කරන්නියක්. එහෙම නේද? ඔව් ඒ සමාජ සම්මතය. මේ සම්මතයට පිටින් යන ගැහැණු එක්කෝ මිය යනවා. නැත්නම් මරා දමනවා. එහෙමත් නැත්නම් කොන් වෙනවා. ඒත් නැතිනම් තනි වෙනවා. ශක්තිමත් උගත් බුද්ධිමත් ගැහැණුන්ට බොහෝ පිරිමින් බයයි. ඒ භය තමයි ෆඛුන්දා ගේ ජීවිතය සොරා ගත්තේ. ඒ භය තමයි ඇයට ඉටු විය යුතු යුක්තිය සාධාරණත්වය සොරා ගත්තේ. හැබැයි කවදා හෝ දවසක ඒ භයංකාරත්වයම ඇෆ්ඝනිස්තානයට සාමය රැගෙන ඒවි. එදාට නිර්දෝෂී ගැහැණුන් අකාලයේ මිය යාම නවතීවි…”

ඔව් මේ වචන හරිම දරුණුයි. ඒ වගේ ම  ඔබේ හිත රිදවන සුළුයි. ඒ හැම දෙයකටම වඩා මේ සිදුවීම අකුරු කරන්න මට හරිම අමාරුයි. ඒත් මට අවශ්‍යයම වුණා ඔබට මේ කතාව කියන්න. ස්තුතියි.. මෙතෙක් රැඳී සිටියාට. බොහෝ දේ සිතන්න ඔබට ඔබට අවසර දෙමින් දැන් මේ කතාවට තිත තියන්න මට අවසර..

 

– සුපුන් භාග්‍යා වීරකෝන් – 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2018 15:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්