ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවීමට ගිය මූල්‍ය වංචාවට සම්බන්ධ නිලධාරීන් දෙදෙනෙකුට එරහිව තවමත් නීතිය ක්‍රියාත්මක වී නැතැයි චෝදනා එල්ල වනවා. එංගලන්ත, ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ නිල රූපවාහිනී විකාශන අයිතිය හිමිව ඇත්තේ ඉන්දියාවේ සෝනි ආයතනයටයි. මෙම සංචාරයට අදාළ රුපියල් එකසිය අසූ එක්කෝටියක මුදලක් හොංකොං බැංකුවක ඇති පෞද්ගලික ගිණුමකට යොමුකරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සෝනි ආයතනයට දැනුම්දී තිබෙනවා. එහි කෝටි 89 ක මූලික ගෙවීම පසුගිය 10 වනදාට පෙර ලැබීමට කටයුතු කරන ලෙසයි දැනුම්දී තිබුණේ.
කෙසේ වෙතත් මේ පිළිබද අනාවරණයවීමත් සමග එම ගණුදෙනුව වහා නතර කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලිද සිල්වා මහතා කටයුතු කරනු ලැබුවා. මේ වනවිට ඒ පිළිබද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ රහස් පොලීසිය වෙන වෙනම පරීක්ෂණ පවත්වනවා. කෙසේ වෙතත් මෙම මුදල් යොමුකරන ලෙස දැනුම්දී ඇති ලිපියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් තුන්දෙනෙකු අත්සන් තබා තිබෙනවා. එහෙත් පරීක්ෂණය නිමාවන තුරු තාවකාලිකව සේවය අත්හිටුවීමට පියවර ගෙන ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ඒකකයේ ප්‍රධානී පියල් නන්දන මහතාගේ පමණයි. මූල්‍ය ඒකකයේ කටයුතු කළ අනෙක් දෙදෙනා සම්බන්ධයෙන් මෙතෙක් පියවරක් නොගැනීම බොහෝ පාර්ශ්ව ප්‍රශ්න කරමින් සිටිනවා. මූල්‍ය ඒකකයට ඔවුන් තිදෙනා බඳවාගෙන ඇත්තේ 2015 වසරේදීයි.
මේ අතර ශ්‍රී ලංකාවේ පැවති නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ හා දකුණු අප්‍රිකාව සමග පැවති ක්‍රිකට් තරගාවලිවලදී ජාත්‍යන්තර විකාශන අයිතිය අලෙවි කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මුදල් හිමිවී ඇත්දැයි මෙතෙක් සොයාගෙන නැහැ. ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ නියෝගයකට අනුව එම කටයුතු සොයා බැලීම සදහා මේ වනවිට කටයුතු කරමින් තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරියෙකු මේ පිළිබද තොරතුරු දැනගැනීමට සම්බන්ධකර ගැනීමට අප ගත් උත්සාහය සාර්ථක වුණේ නැහැ.