fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනාගතයේ ලෝක ආර්ථිකයට ආසියාවේ බලපෑම ගැන අගමැති පැහැදිලි කරයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2018 17:44

අනාගතයේ ලෝක ආර්ථිකයට ආසියාවේ බලපෑම ගැන අගමැති පැහැදිලි කරයි

ආසියාව කේන්ද්‍ර‍ර ගනිමින් ඉදිරි දශක කිහිපය තුළ නව ලෝක ආර්ථිකයක හැඩතල නිර්මාණය වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍සිංහ මහතා ප්‍ර‍කාශ කළා. එබැවින් ආසියාන් සංවිධානයට හා ආසියා ආර්ථිකයේ දැවැන්තයන්ට ආසියා දේශපාලනික ස්වරූපය සම්බන්ධව සුවිශේෂී කාර්යයක් පැවරෙන බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍ර‍කාශ කළේ.

වියට්නාමයේ හැනොයි නුවර ආසියාන් ලෝක ආර්ථික සමුළුවේ සාකච්ඡා මණ්ඩපයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍ර‍කාශ කළා. ආසියානු භූ දේශපාලිනක ස්වරූපය යන මැයෙන් එය පැවැත්වුණා. එහිදී රනිල් වික්‍ර‍සිංහ මහතා වැඩිදුරටත් ප්‍ර‍කාශ කළේ ආසියානු ආර්ථිකයේ අනාගතය රදා පවතින්නේ ඉන්දු ශාන්තිකර නිදහස් නාවුක ගමනාගමනය මත බවයි. ඒ හේතුවෙන් සියලු දෙනා එක්ව පිළිගත් සම්මතයන්ට අනුව නිදහස් සාගර ප්‍ර‍තිපත්තියක් අනුගමනය කිරීමේ වැදගත්කමද වික්‍ර‍සිංහ මහතා පෙන්වා දුන්නා. නව ආර්ථික ප්‍ර‍වනතා හමුවේ ආසියා කලාපය මුහුණදෙන අභියෝග සහ ඒවා ජයගැනීම පිළිබදව ද අදහස් පළකෙරුණා.

ආසියාන් සංවිධානය හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව පුළුල් කිරීමේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මූලික පියවර ගැනීම සුදුසු බවට ද අවධාරණය කෙරුණා. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍සිංහ සහ ආසියාන් සංවිධානයේ මහ ලේකම් ජොක් හොයි ලිම් යන මහත්වරුන් අතර පැවති සාකච්ඡාවේදීයි. ආසියාන් ලෝක ආර්ථික සමුළුව අතරතුර මෙම සාකච්ඡාව පැවැත්වුණා. ථේරවාදී බුදුදහම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමුකෙරුණා. ථේරවාදී බුදුදහම ප්‍ර‍චලිතව ඇති ආසියාන් සංවිධානයට අයත් නොවන එකම රට ශ්‍රී ලංකාව බවයි රනිල් වික්‍ර‍සිංහ මහතා පෙන්වා දුන්නේ. එම පොදු පදනම මත ආසියාන් රටවල් සමග සමීපව කටයුතු කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇති බව ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. ආසියාන් සංවිධානයේ රටවල් සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යාපන සහ යෞවන ක්ෂේත්‍ර‍යන්හි සබදතා තර කිරීම පිළිබදව ද අදහස් හුවමාරුවුණා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍සිංහ මහතා කාම්බෝජ අග්‍රාමාත්‍ය හුන් සෙන් මහතා සමග ද සාකච්ඡා පැවැත්වූවා. ශ්‍රී ලාංකේය ව්‍යවසායකයන්ට තම රටට ව්‍යාපාර සදහා පැමිණෙන ලෙස  කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා ආරාධනා කළා. දෙරට අතර ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීම සදහා මූලිකත්වය ලබාදිය යුතුයි. අන්‍යෝන්‍ය ආයෝජන ආරක්ෂණ ගිවිසුමක් සකස් කිරීම සම්බන්ධයෙන් ද අදහස් හුවමාරුවුණා. දෙරට අතර වීසා රෙගුලාසි ලිහිල් කෙරෙනවා. එහි මූලික පියවරක් ලෙස රාජ්‍ය තාන්ත්‍රික හා රාජකාරි ගමන් බලපත්‍ර‍ වීසා වලින් නිදහස් කිරීමට අග්‍රාමාත්‍යවරුන් එකග වුණා. කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා 1979 වසරේදී ශ්‍රී ලංකාවේ කළ සංචාරය ද සිහිපත් කළා.

කර්මාන්ත,ව්‍යාපාර අංශයේ  හා තොරතුරු තාක්ෂණයේ අත්දැකීම් ශ්‍රී ලංකාව සමග  බෙදාගැනීමට කැමැත්තෙන් සිටින බව  දකුණු කොරියා විදේශ ඇමතිනී  කං ක්‍යුං වා මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා දකුණු ‍කොරියා ඒකාබද්ධ ආර්ථික කොමිසමේ සාකච්ඡාවලදී මේ පිලිබද ප්‍රමුඛතාව ලබාදීම වැදගත් බව දකුණු කොරියා විදේශ ඇමතිනිය පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාවේ දකුණු කොරියා කර්මාන්ත කලාපයක් පිහිටුවීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2018 17:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්