Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකාව හෙල්ලූ 9/11 ප්‍රහාරයේ වින්දිතයන්ට DNA නිසා සාධාරණය ඉටු වෙයිද??

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 18:07

ඇමරිකාව හෙල්ලූ  9/11 ප්‍රහාරයේ වින්දිතයන්ට DNA නිසා සාධාරණය ඉටු වෙයිද??

“ලෝකය තනි යායක් අපි එහි රඟන නළුවන් වෙමු” කියලා කතාවට කිව්වාට ඒක තවදුරටත් එහෙම නෙවෙයි. ලෝකයම තනි යායක් කියලා මිනිහෙක් ට හිතෙනවා නම් මේ ලෝකයේ මේ තරම් බෙදීම්, යුද්ධ, මනුෂ්‍ය ඝාතන මේ කිසිම දෙයක් ඇති වෙන්න බැහැ. ඒ නිසා ලෝකය තනි යායක් කියන කතාව අපිට බැහැර කරන්න වෙනවා. හැබැයි අපිට සිද්ධ වෙනවා එක දෙයක් පිළිගන්න. ඒ තමයි…

” මේකෙ රඟන හැම කෙනෙක්ම නළුවෙක් “

සුපුරුදු පරිදි මාතෘකාවෙන් පිට පැනපු එකේ ආපහු කතාවට එන්නයි මේ හදන්නේ. අද දවස සැප්තැම්බර් 11 වැනිදා. මීට හරියටම අවුරුදු 17ට කළින් අද වගේ දවසක සිද්ධ වුණ දෙයක් ගැන කියන්න මම ඔබව රැගෙන යනවා ඇමරිකා එක්සත් ජනපදයට. ඒ කියන්නේ  2001 වසරට. එදා අඟහරුවාදා දවසක්. ඒ වෙද්දි ඇමරිකාවේ ජනාධිපති වෙලා හිටියේ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් මහත්තයා. එදා උදේම බුෂ් ජනාධිපතිවරයා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ Emma E Booker Elementary School හි දරුවන් එක්ක පොත් කියවමින් හිටියා.

 

 

හැබැයි ඒ වෙද්දි ඇමරිකාව ලොකු අනතුරක් අත ළඟ හිටපු බව ජනාධිපතිවරයා හෝ එරට ආරක්ෂක අංශවත් දැනගෙන හිටියේ නැහැ. මේ අතරේ තමයි නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ උතුරු දෙසින් ගුවන් යානයක් ඇවිත් ගොඩනැගිල්ල හා ගැටෙන්නේ. මුලින් ඇමරිකානු බලධාරින් හිතනවා මෙය අනතුරක් එහෙමත් නැතිනම් අත්වැරදීමක් කියලා. හැබැයි ඊට ටික වෙලාවකට පස්සේ තවත් යානයක් ඇවිත් ගොඩනැගිල්ලේ ගැටෙනවා.

 

 

ඒත් එක්කම මෙය අත්වැරදීමක් නොව ප්‍රහාරයක් බව සනාථ වෙනවා. මේ ප්‍රහාරයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා, ඇමරිකානු බුද්ධි අංශ විතරක් නෙවෙයි මුළු ලෝකයම පුදුමයට පත් වෙනවා. මේ නිසා ඇමරිකාව ඉක්මනින් ම හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරනවා.

ධවල මන්දිර හදිසි අවස්ථා මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානීන් ප්‍රහාරය හමුවේ යුහුසුළුව ක්‍රියාත්මක වෙමින්. පසෙකින් කොන්ඩොලීසා රයිස් ද සිටියි.  

උප ජනාධිපති Dick Cheney , ඔහුගේ බිරිඳ හා ජනාධිපති ආර්යාව ලෝරා බුෂ් ජනාධිපතිවරයා ගේ ජාතිය අමතන ප්‍රකාශයට සවන් දෙමින්.

හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් කොලින් පවෙල්.

 CIA සංවිධානයේ හිටපු ප්‍රධානියා ජනාධිපති බුෂ් ගේ කතාවට සවන් දෙමින්.

 

අල්කයිඩා ඉස්ලාමීය අන්තවාදී සංවිධානයේ සාමාජිකයන් 19 දෙනෙකු විසින් 2001 වසරේ සැප්තැම්බර් මස 11 වැනිදා එල්ල කළ මෙම ප්‍රහාරයෙන් නිව්යෝක් ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල බිමටම සමතලා වුණා.

 

 

අල්කයිඩා සංවිධානය මේ ප්‍රහාරය දියත් කරන්නේ පැහැර ගත් ගුවන් යානා 4ක් යොදා ගනිමින්. ඒ අනුව යානා දෙකක් නිව්යෝක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට තුන්වැන්න වොෂින්ටන් නගරයේ පිහිටි ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය හෙවත් පෙන්ටගනයට සහ සිව් වැනි යානය  පෙන්සිල්වේනියාවේ ෂැන්ක්විල් නමැති පිටිසරබද පළාතටත් කඩා වැටීමට සළස්වා තිබුණා.

මේ ප්‍රහාරයෙන් 3000 කට ආසන්න පිරිසක් මිය ගිය අතර තවත් හයදහසකට අධික පිරිසක් තුවාල ලැබුවා. ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි ද්විත්වය කඩා වැටීමත් සමඟ ඒ ප්‍රදේශය පුරා දැඩි දුමාරයක් හා දූවිල්ලක් පැතිරුණා.

ඒ වගේම නාසා ආයතනය මේ ප්‍රහාරයෙන් පසුව නැගුණු දුමාරය චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ඡායාරූපගත කර තිබුණා.

 

අදට අවුරුදු 17ක්…

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට මේ එල්ල වුණ ප්‍රහාරය 9/11 ප්‍රහාරය ලෙස හඳුන්වනවා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු කුළුණට ප්‍රහාරය එල්ල වූ වේලාව යොදා ගනිමින් නිහඬතාවය පළ කිරීමේ අවස්ථාවක් ප්‍රකාශයට පත් කරලා තිබුණා. ලොවක් එක ක්ෂණයකින් ඇමරිකාව දෙසට හැරවූ මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරට පත් වූවන් හඳුනා ගැනීමට අලුත්ම ක්‍රමයක් මේ වෙද්දි ක්‍රියාත්මක වෙනවා. ඒ  DNA තාක්ෂණය යොදා ගනිමින්.

 

 

මේ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් අනතුරට පත් සංඛ්‍යාව 3000ට ආසන්න වුවද ඉන් තවමත් හඳුනාගෙන තිබෙන්නේ පුද්ගලයන් 1000ක් පමණයි. ඉතිරි පිරිස පිළිබඳව හඳුනා ගැනීම සඳහා මේ ආකාරයට DNA තාක්ෂණය යොදාගෙන තිබෙනවා. 17 වන අනුස්මරණය අභියස ඇමරිකානු වෛද්‍ය විශේෂඥයන් පිරිසක් කියා සිටියේ මේ පිරිස හඳුනා ගැනීම සඳහා ජාන තාක්ෂණය යොදා ගැනීමට හැකි බවට අපේක්ෂා කරන බවයි.

 

 

මෙහිදි සිදු කෙරෙන්නේ නයිට්‍රජන් දියරය අඩංගු කුටීරයක මිනිස් අස්ථි කොටස් තැන්පත් කිරීමයි. ඒ මඟින් එම අස්ථි මෘදු කිරීම සිදු වෙනවා. ඉන් පසුව ඒවා හොඳින් කුඩු කර ගැනීමට හැකියාව ලැබෙනවා. අස්ථි කුඩු කර ගැනීමට තිබෙන හැකියාව කොතරම්ද ඒ තරමටම සාර්ථක DNA පරික්ෂණයක් සිදු කර ගත හැකි බව මේ පර්යේෂණ කණ්ඩායම පවසනවා.

” මේ ක්‍රමය අපි අස්ථි 10 ක් හෝ 15ක් යොදා ගනිමින් පරික්ෂණයට භාජනය කළා. අපි මේ අස්ථි කොටස් DNA පරික්ෂණයට භාජනය කරද්දි අතීතය පිළිබඳ සොයා ගැනීමට හැකි වේවි යැයි කිසිසේත් සිතුවේ නැහැ”

 

 

වෛද්‍ය පරික්ෂකයන්ගේ කණ්ඩායමේ සාමාජිකයෙකු වන මාර්ක් ඩිසයර් පැවසුවේ එහෙම අදහසක්. කොහොම වුණත් මේ නව ක්‍රමය මඟින් එදා ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන දකුණු කුළුණේ 84වන  මහළේ සිටි එවකට 26 හැවිරිදි ස්කොට් මයිකල් ජොන්සන් ව  හඳුනා ගැනීමට හැකියාව ලැබුණා.

මෙම සොයා ගැනීම් සිදු කිරීම ඇමරිකානු ඉතිහාසයේ විශාලතම අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක ගවේෂණය ලෙස ඉතිහාසයට එක් වේවි. ඒ වගේම වසර 17ක් පුරා මේ ප්‍රහාරයෙන් මිය ගිය හා අනතුරුවලට ලක් වූ අයගේ පවුල්වල සාමාජිකයන්ගේ  හදවත්වල වූ තාවකාලික පැලැස්තර ඉවත් වී ඔවුන්ගේ වේදනාවන් නැවත ඉස්මතු කරවන සිද්ධියක් බවටද මෙය පත් වේවි.

 

 

මේතරම් ඛේදනීය සිදුවීමක් සිදු වූ ස්ථානයේ උද්‍යානයක් නිර්මාණය කිරීමට විරුද්ධව අසාර්ථක නඩුකරයකින් පරාජයට පත් වූ  ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ප්‍රහාරයෙන් මිය ගිය අයගේ පවුල්වල සාමාජිකයන්ගේ එකමුතුවේ සාමාජිකයෙක් වන ඩියෑන් හෝර්නින්ග් මේ නූතන පරික්ෂණ සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කර සිටිනවා.

” මේ අලුත් ක්‍රියාදාමය මේ ප්‍රහාරයෙන් මිය ගිය ඒ වගේම අනතුරට ලක් වූ අපේ අයගේ පවුල්වල සාමාජිකයන් ගේ වේදනාවන්ට ලොකු සහනයක් වේවි.. ඒ ගැන මට බොහොම සතුටුයි. ඒ වගේම මෙය අඛණ්ඩව සිදුකරගෙන යාම ගැන අපි ණයගැති වෙනවා.”

 

 

පරික්ෂණවලින් මීට පෙර හඳුනාගත් 26 හැවිරිදි මැතිව් මේ ප්‍රහාරය නිසා ඇයට අහිමි වූ ඇයගේ පුත්‍රයා වනවා.

ප්‍රහාරයෙන් මිය ගිය කැතරින් නම් කාන්තාවගේ සැමියා වන චාල්ස් වුල්ෆ් තවමත් සිය බිරිඳගේ බවට සැකයක් පමණක් පවතින, නිශ්චිත ලෙස හඳුනාගෙන නොමැති පරික්ෂණ පිළිබඳව පවසන්නේ ” එය දෙවියන් වහන්සේගේ කැමැත්ත” බවයි. ඒ වගේම ඔහු මේ සියල්ල දෙස ඉවසීමෙන් බලා සිටිනවා.

” මොකක්ද මේ පරීක්ෂණවල පිළියම? මැරිච්ච මිනිස්සුන් ගේ මිනි වළවල් හාරලා නැවත ගොඩ අරගෙන පරික්ෂණ කරලා ආපහු වළ දමන එකද? නැහැ. ඒක නෙවෙයි විය යුත්තේ. එය නෙවෙයි මේවාට පිළියම වෙන්නේ. හදිසියේ මේ සුවපත් කිරීමේ වෑයම රෝගයට වඩා බරපතලයි”

 

 

මේ සිදුවීම අන්තර්ජාතික නීති ක්ෂේත්‍රය උඩු යටිකුරු කරමින් ජාත්‍යන්තර මානව හිමිකම් ක්ෂේත්‍රයට නව සංකල්ප හඳුන්වා දීමට හේතු වූ සිදුවීමක් වුණා. හැමදාමත් අපි සාමය ගැන කතා කරනවා. යුද්ධය ගැන පිළිකුලෙන් කතා කරනවා. මේ පිළිකුල්සහගත යුද්ධය කවදා හෝ සදහටම අවසන් වනතුරු ලෝකය තනි යායක් නොවන බව දැන් ඔබට වැටහෙනවා ඇති. ලෝකයටම යුද්ධ නිර්මාණය කර දෙන ඇමරිකාව මීට වසර 17 ට කළින් අල්කයිඩා සංවිධානය ඉගැන්වූ පාඩම තවදුරටත් අමතක කර ඇති සේයාවක් පෙනී යනවා. ඔවුන් මේ සක්වලේ රඟන නළුවන් මෙන් ඔවුන්ට අභියෝගයක් වන රටවල් දැඩි ලෙස මර්දනය කිරීමට උපන් හපන් පිරිසක් විදියට දිනෙන් දින තහවුරු කරමින් සිටිනවා. කෙසේ වුවත් මිය ගිය සියලු දෙනාට සාධාරණයක් වනතුරු පීඩිත පවුල්වල සාමාජිකයන් දෑස් අයාගෙන බලා සිටිනවා.

 

– සුපුන් භාග්‍යා වීරකෝන් – 

 

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 18:07
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්