ශ්‍රී ලංකාව ඉතාමත් ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන රටක්. මේ පෞරාණික ඉතිහාසය නිසාම අපහට දායාද වුණු මිලකල නොහැකි පෞරාණික වටිනාකමකින් යුතු වස්තු සම්භාරයකුත් අපිට උරුමයි. අපහට උරුම ඒ සංස්කෘතික වටිනාකමකින් යුතු දේවල් වගේම අපෙන් පැහැරගත් දේවලුත් ඒ හා සමානවම මිල කරන්න පුලුවන් දේවල් නෙමෙයි. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි සමයන්හිදී විනාශයට පත් කෙරුණු සහ අපෙන් උදුරාගෙන ඔවුන්ගේ රටවල් කරා යැවුණු මිල කළ නොහැකි ඓතිහාසික වටිනාකමකින් යුතු වස්තූන් රාශියක් අදටත් විදෙස් කෞතුකාගාරවල දක්නට ලැබෙනවා.
මේ විදෙස් කෞතුකාගාරවල වැජඹෙන අපේ රටට අයත් එවන් වූ වටිනා කෞතුක භාණ්ඩ කිහිපයක්.
තාරා දෙවඟන ප්‍රතිමාව
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/ArtifactsInForeignMuseums-01.jpg”]
ලන්ඩනයේ පිහිටි බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කොට ඇති තාරා දෙවඟනගේ ප්‍රතිමාව උසින් අඩි පහක්. ලෝකඩවලින් නිර්මාණය කොට රන් ආලේප කොට ඇති මේ පිළිමය 10වැනි ශතවර්ෂයට පමණ අයත් එකක් යැයි පැවසෙනවා. 1830 වර්ෂයේ දී අපේ රටේ ත්‍රිකුණාමලයත් මඩකලපුවත් අතර ප්‍රදේශයකින් තමයි මේ වටිනා පිලිමය සොයාගෙන තිබෙන්නේ. එවක මෙරට ආණ්ඩුකාරවරයා වූ රොබට් බ්රවුන්රිග් විසින් මෙය බ්‍රිතාන්‍ය මහරැජින වෙත තිලිණ කොට තිබෙන අතර පසු කලෙක දී ඇය විසින් මෙය කෞතුකාගාරයට පරිත්‍යාග කර තිබෙනවා.
අවලෝකිතේශ්වර බෝසත් ප්‍රතිමා
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/awathikokeshwara.jpg”]
මෙරටින් සොයාගන්නා ලද 8 වැනි සහ 9 වැනි සියවසට අයත් අවලෝකිතේශ්වර බෞද්ධ ප්‍රතිමා දෙකක්ද බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ දක්නට ලැබෙනවා.මේ ප්‍රතිමා දෙකෙන් 8 වැනි සියවසට අයත් බෝධිසත්ව ප්‍රතිමාව අපේ කොළඹ කෞතුකාගාරයේ තබා ඇති අවලෝකිතේශ්වර ප්‍රතිමාවට සමානකම් දරනවා. 9 වැනි සියවසට අයත් අනෙක් ප්‍රතිමාව ඊට තරමක් වෙනස් ව ආභරණ සහිතව නිර්මාණය කරන ලද ප්‍රතිමාවක් වනවා. ආභරණ සහිතව නෙළන ලද මෙවන් ප්‍රතිමා විභූෂණ නමින් හඳුන්වනවා.
රාහුල හිමියන්ගේ දේහය
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/rahula-himiyan.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/23-Page-20-S2-1.jpg”]
කාව්‍යශේඛරය, සැළලිහිණි සන්දේශය ආදී කාව්‍ය සිංහල සාහිත්‍යයට දායාද කළ තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන්ගේ දේහය පිළිබඳව ඉතාමත්ම මතභේදයට තුඩුදෙන කථාවක් ඔබ කවුරුත් අසා ඇති. ශාන්ත සේවියර් පියතුමාගේ දේහය නමින් ඉන්දියාවේ ගෝවා නගරයේ තබා ඇත්තේ සත්‍ය වශයෙන්ම අපේ රාහුල හිමියන්ගේ දේහය බව පැවසෙනවා. එකල පෘතුගීසීන් විසින් රහල් හිමිගේ දේහය ගෝවාවට ගෙන යන්නට ඇතැයි සැලකෙනවා. උන්වහන්සේ අපවත් වීමට මත්තෙන් “සිදු අලු රසය” නැමැති බලවත් බෙහෙතක් පානය කළ නිසාවෙන් අදටත් ඒ සිරුර දිරාපත් නොවී පවතිනවා කියායි ජනප්රවාදයේ කියන්නේ. මේ සිරුරේ කෙස් සහ නිය වැඩෙන බවටත් මතයක් තිබෙනවා.
ස්කොට්ලන්ත ජාතික කෞතුකාගාරයේ ඇති බුදු පිළිම
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/scotlnd-musiam.jpg”]
එඩින්බරෝ නුවර පිහිටි ස්කොට්ලන්ත ජාතික කෞතුකාගාරයේ අපට අයත් බුදු පිළිම දෙකක් දක්නට ලැබෙනවා.
ඉන් එක් පිළිමයක් 11 වැනි සියවස දක්වා ඈතට දිවයන්නක්. ඓතිහාසික වටිනාකමකින් යුතු ඒ පිළිමය නාග දරණයකින් වට වූ බුද්ධ ප්‍රතිමාවක්. Seshnag නමින් තමයි ඒ ප්‍රතිමාව නම් කරල තිබෙන්නේ.
එහි ඇති අනෙක් පිළිමය 1826 වසරේ දී නුවර විහාරස්ථානයකින් සොයාගන්නා ලද ලෝකඩ බුදු පිළිමයක්.
රයික්ස්මියුසියම්හි ඇති අපේ රාජකීය ආයුධ සහ පිළිම
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/auda-ha-pilima.jpg”]
නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර පිහිටි කෞතුකාගාරය වන රයික්ස්මියුසියම්හි ශ්‍රී ලංකාවට අයත් පෞරාණික වස්තූන් බොහොමයක්ම හමුවනවා. ඒ අතරින් කීර්ති ශ්‍රී රාජසිංහ රජුට අයත් කඩුකස්තාන විශේෂයි. 1764/65 වකවානුවේ දී ලන්දේසීන් විසින් උඩරට රාජධානිය ආක්‍රමණය කිරීමේ දී සොරාගන්නා ලද මෙය මකර හිස් කැටයම් ආදියෙන් අලංකාර වූ වීශිෂ්ට නිර්මාණයක්.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/rajakiya-auda.jpg”]
මෙහි දැක්වෙන පිහිය සහ කොපුවද එම ලන්දේසි ආක්රමණයේ දී සොරාගන්නා ලද, රජු විසින් පරිහරණය කරන ලද ආයුධයක්. රන් ආලේපිත ඉතා ආකර්ශනීය නිර්මාණයක්.
මෙහි දැක්වෙන තුවක්කුවද 1964/65 ආක්රමණයේ දී ලන්දේසීන් විසින් අත්පත් කරගත්තක්.
නෙදර්ලන්ත කෞතුකාගාරයේ ඇති අභය සහ වර මුද්‍රාවලින් යුතුව වැඩ හිඳින මේ හිටි පිළිමයත් ශ්‍රී ලංකාවෙන් සොයා ගන්නා ලද්දක්. මෙය ක්‍රි.ව. 900-1100 අතර කාලයකට අයත් බවයි පැවසෙන්නේ.
කෝට්ටේ යුගුයට අයත් ඇත්දල පෙට්ටගමක්
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/addala-pettagama.jpg”]
පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසින් වැනි ජාතිකයින් මෙහි විසූ යුග ලංකාවෙ අලි ඇතුන්ට ඉතාම අපල කාලයක් බව සඳහන් වනවා. අලි ඇතුන් සහ ඇත් දළ වෙළඳාමට අමතරව විවිධ වැවිළි සඳහා බිම් එළිපෙහෙළි කිරීමේ දී ත්, විනෝද දඩයම් ක්‍රීඩාවල දී ත් අලි ඇතුන් විශාල වශයෙන් මරා දැමුණු බවට තොරතුරු සැපයෙනවා.
මනරම් ඇත්දළ කැටයමින් නිර්මාණය වූ මේ පෙට්ටගම එවන් වූ යුගයකට අයත් වස්තුවක්. ඇත්දළින් නිම කර ඇති මිනිස් රූප කැටයම් කොට නිල් මැණික්, පද්මරාග සහ රන් ඔබ්බවා සාදන ලදදක්.
මේ පෙට්ටගම 1540 ගණන්වල කෝට්ටේ යුගයට අයත් වන බවත් කෝට්ටේ රජතුමා විසින් පෘතුගාලයට තෑගි දුන් බවත් සඳහන් වෙනවා. මේ වන විට මෙය ජර්මානු කෞතුකාගාරයක ප්‍රදර්ශනය කොට තිබෙන්නක්.
ක්ලීව්ලන්ඩ් කලා කෞතුකාගාරයෙහි බුද්ධ ප්‍රතිමාව
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/7-budda-prathima.jpg”]
අවලෝකිතේශ්වර සහ තාරා දේව ප්‍රතිමා ලංකාවේ බුදු සසුනට වූ මහායාන බලපෑමුත් සමග නිර්මාණය වූ ඒවා වනවා. ඊට පෙර නිර්මාණය වූ ශාක්‍යමුනි බුදු ප්‍රතිමා ථෙරවාද බෞද්ධ සංස්කෘතියට අයත් ඉපැරණි ප්‍රතිමා වනවා.
මෙහි දැක්වෙන ඇමරිකා එක්සත් ජනපදයේ ක්ලීව්ලන්ඩ්හි පිහිටි කෞතුකාගාරයේ ඇති බුදු පිළිමයත් ලංකාවෙන් සොයාගන්නා ලද 7-8 සියවස්වල අනුරාධපුර යුගයට අයත් ලෝකඩින් නිම කළ වටිනා ශාක්‍යමුනි බුදු පිළිමයක්. ඉතිහාසයේ නිරන්තර යුද්ධ, විනාශකිරීම් සහ කොල්ලකෑම්වලට ලක්ව නිරුපද්‍රිතව වැඩ හිඳින්නට වාසනාව ලද අතලොස්සක් පිළිම අතරින් එකක් වන මෙය ද අපේ රටට අයත් පෞරාණික වස්තුවක්.
ලන්ඩනයේ දී වෙන්දේසි වූ සඳකඩ පහණ
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/ArtifactsInForeignMuseums-09.jpg”]
අනුරාධපුරය යුගයට අයත් සඳකඩ පහණක් 2013 වර්ෂයේදී ලන්ඩනයේ දී වෙන්දේසි වී තිබෙනවා. එය අලෙවි වී ඇත්තේ බ්‍රිතාන්‍ය පවුම් 553,250ක් වැනි (රුපියල් මිලියන 115කට වැඩි) අති විශාල මුදලක ට යි.
මේ සඳකඩ පහනේ හිමිකරුවන් වන මයිකල් සහ බ්‍රොන්වින් හික්මොට් යන අයගේ ගෙමිදුලේ කලක් තිස්සේ තිබී ඇති මෙම සඳකඩපහනේ වටිනාකම දැනගත්විට ඔවුන් විශ්මයට පත්වුණු බවයි කියවෙන්නේ. කෙසේ නමුත් ඔවුන්ට පෙර ඒ නිවසේ හිමිකරුව සිට ඇත්තේ මෙරට තේ වැවිළිකරුවකුව සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. මේ සඳකඩ පහණ ඔහු විසින් මෙහි රැගෙන එන ලද්දක් යැයි විශ්වාස කෙරෙනවා.
කෙසේ නමුත් මීට වෙනස් මතයක් ඉදිරිපත් කරන මෙරට පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයකු පවසා ඇත්තේ මෙය හුදෙක් අපේ සඳකඩ පහණක අනුරුවක් පමණක් බවයි. ඉහත කී සඳකඩ පහණේ ක්ෂය වීම් දක්නට නැති නිසා එතරම් පුරා විද්‍යාත්මක වටිනාකමක් එයට නොමැතිබවට ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා. එසේනම්, බ්‍රිතාන්‍ය පවුම් 553,250ක් ගෙවා මිලදී ගෙන ඇත්තේ අනුරුවක් පමණක්ද?
Star of India නිල් මැණික
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/192a0fe4253cb21a955c7011cec3233e.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/ArtifactsInForeignMuseums-10.jpg”]
වසර තුන් සීයකට පමණ ප්‍රථම ශ්‍රී ලංකාවෙන් සොයගන්නා ලද මේ කැරට් 563.35කින් හා ග්‍රෑම්112.67 බරකින් යුක්ත වන මැණික මේ වන විට ඇමරිකාවේ නිව්යෝක්හි ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ (American Museum of Natural History) තැන්පත් කර තිබෙනවා.
-ශානිකා රත්නායක-