ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 6, 2018 19:44

ඒකාබද්ධ විපක්ෂයේ පාලනය යටතේ පවතින අනුරාධපුර මහනගර සභාව මගින් රුපියල් ලක්ෂ දහයක් පමණ වැය කරමින් සංවර්ධනය කරන අනුරාධපුර නගරසභා නිවාසවල පළමු පටුමග මාර්ගයේ ගල් ගැලවීයාමේ අවධානමකට ලක්වී තිබෙන බව එම නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු පවසනවා.

මෙම මාර්ගයේ මීටර 200ක දුර ප්‍රමාණයක් තාර යොදා සංවර්ධනය කිරීම ආරම්භ වුණේ  පසුගිය තුන්වනදායි. මේ වෙනුවෙන් නගර සභාව රුපියල් නව ලක්ෂ තුන්දහස් පන්සිය අසූහතක මුදලක් වෙන් කර තිබෙනවා. මෙය අධීක්ෂණය කරන්නේ නගරසභා මන්ත්‍රීනී සුරංගනී සමරතුංග මහත්මියයි.

ඉදිකිරීම අවසන් වන තෙක් වසා නොතැබීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමන් කරන නිසා එහි ගල් ගැලවී යාම බරපතල ගැටලුවක් බවත් මෙය මහජන මුදල් අවභාවිතාවේ යෙදවීමක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු පවසනවා. මේ සම්බන්ධයෙන් විමසීමේදී නාගරික මන්ත්‍රීවරිය සහ නගරසභා වැඩ අධිකාරී පවසා ඇත්තේ දැනට මෙම මාර්ගයේ නිම කර ඇත්තේ පළමු අදියර පමණක් බවයි. දින 15කින් පසු එහි දෙවන අදියර ආරම්භ කරන බව නගරසභා වැඩ අධිකාරීවරයා වැඩිදුරටත් පවසනවා.

එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පවසන්නේ මෙම හානිය සම්බන්ධයෙන් මහනගර සභාවේ නගරාධිපතිවරයා, නිලධාරීන් සහ කොන්ත්‍රාත්කරු වගකීම භාරගත යුතු බවයි.

සුරංගි සමරතුංග – ඒකාබද්ධ විපක්ෂයේ නාගරික මන්ත්‍රීනී,

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 6, 2018 19:44

Default