සතුට ගෙන දෙන ඇතැම් දේ විනාශයට හේතුවන අවස්ථා බොහෝ පවතිනවා. වනයේ සිටින අලින්ගේ ක්රියාකාරකම් අනාරක්ෂිත ලෙස නැරඹීමත් එවැනි දෙයක්. ඉර බැසයාමත් සමග දඹුල්ල දිගම්පතන රක්ෂිතයේ සිටින වන අලින් දිය සොයා දඹුල්ල හබරන ප්රධාන මාර්ගය හරහා ගමන් කරනවා. මෙය අපූරු දර්ශනයක්.
ඒ නිසාම විදේශ සංචාරකයන්ට මග පෙන්වන්නන් බොහෝ දෙනෙකු එම සංචාරකයන් රැගෙන වන අලින් සමීපයටම ගමන් කරනවා. කිසිදු ආරක්ෂක ක්රියාමාර්ගයකින් තොරව සංචාරකයන් වාහනයෙන් බස්සවා මෙසේ ගමන් කිරීම දැඩි අනතුරු දායකයි. මීට පෙර වන අලින් වාහන කිහිපයකටම පහරදී හානි සිදු කර තිබෙනවා. ඒ අනුව විශාල අනතුරක් සිදුවීමේ ඉඩකඩ පවතින බවයි ප්රදේශවාසීන් පවසන්නේ.