fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රොහින්‍යා අර්බුදය සහ වර්ගවාදී රැල්ලට යන අවුන්ග් සාන් සූ කී..

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 6, 2018 08:30

රොහින්‍යා අර්බුදය සහ වර්ගවාදී රැල්ලට යන අවුන්ග් සාන් සූ කී..

පසුගිය අගෝස්තු 27 වනදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥ කමිටුවක් විසින් එළි දක්වන ලද වාර්තාවකින් චෝදනා කර සිටියේ මියන්මාර් හමුදාව එරට රොහින්‍යා මුස්ලිම් ජනතාව ඉලක්ක කරගත් ජන සංහාරයට සහ රොහින්‍යා කාන්තාවන් සමූහ දූෂණයට ලක් කිරීම පිළිබඳව වග කිව යුතු බව ය. මෙම චෝදනා සම්බන්ධව එරට හමුදා නායකත්වය අධිකරණයක් හමුවට පැමිණවිය යුතු බවත් එම වාර්තාව නිර්දේශ කළේ ය.

මෙම නිර්දේශයන් කරා එක්සත් ජාතීන් එළඹීම බලාපොරොත්තු විය යුතු තත්ත්වයක් විය. ඊට හේතුව නම් වසර කිහිපයක් තිස්සේම මියන්මාර් රජයට එරෙහිව ජන සංහාරය පිළිබඳ චෝදනා එල්ල වෙමින් පැවතීම ය. එහෙත් එම නිර්දේශයන් හි බරපතලකම හේතුවෙන් මියන්මාර රජය ද දැඩි පීඩනයකට හසු වූයේ ය.

ෆේස්බුක් තහනම..

මෙම තත්ත්වය තවත් දරුණු අතට හරවමින් ඉන් පැය කිහිපයකට පසුව යටකී වාර්තාව මගින් නම් කරන ලද්දාවූ මියන්මාර හමුදාපතිවරයා ඇතුළු හමුදා ප්‍රධානීන් කිහිප දෙනකුගේ ද හමුදාව විසින් පවත්වාගන යනු ලබන මාධ්‍ය ආයතනයක ද ෆේස්බුක් පිටු අත්හිටුවීමට එම ආයතනය පියවර ගත්තේ ය.

මෙම පියවරට ප්‍රධානම හේතුව වූයේ අදාල වාර්තාව මගින් ෆේස්බුක් මාධ්‍ය ජාලයට ද චෝදනා එල්ල වීම ය. එම වාර්තාව සඳහන් කළේ ෆේස්බුක් සමාජ ජාලය වෛරී සහගත තොරතුරු බෙදා හැරීමට මියන්මාරයෙහි ඉතා පහසුවෙන් යොදා ගන්නා ලද බව යි.

පසුගිය මාස ගණනාවක් තුළ විවිධාකාර චෝදනා හේතුවෙන් ෆේස්බුක් ආයතනය ද විශ්වසනීයත්වය පිළිබඳ අර්බුදයක පැටලී සිටින අවස්ථාවක මෙවන් චෝදනාවක් එල්ල වීම එම ආයතනයට ගැටළුකාරී තත්ත්වයක් ඇති කළේ ය. නමුත් ෆේස්බුක් ආයතනය වෛරී ප්‍රකාශ පාලනය පිළිබඳ වේගයෙන් කටයුතු කරන බව පෙන්නුම් කිරීමට යට කී ෆේස්බුක් පිටු අත් හිටවන්නට ඇතැයි සිතිය හැක.

මීට මාස කිහිපයකට පෙර මහනුවර ප්‍රදේශයේ විශාල නොසන්සුන්තාවක් හටගත් අවස්ථාවේ රජය, සමාජ මාධ්‍ය තාවකාලිකව තහනම් කළේ ය. රජය සඳහන් කළේ එම මාධ්‍යයයන් භාවිතා කරමින් විවිධ ප්‍රචාරයන් කිරීම සහ සංවිධානය වීම් ඒ අනුව වැලැක්විය හැකි හෙයින් එම තහනම උණුසුම් තත්ත්වය පාලනයට උපකාර වූ බව ය.

අවාසනාවකට මෙන් මියන්මාරයේ තත්ත්වය වෙනස් ය. මෙහිදී සමාජ මාධ්‍ය ඔස්සේ වෛරී ප්‍රකාශයන් නිකුත් කරන්නන්ට රජයෙහි වක්‍ර අනුග්‍රහය ලැබෙන බවට චෝදනා එල්ල වේ.

විපර්යාසයට පත් සූ කී..

කෙසේ නමුත් මෙම තත්ත්වය හමුවේ වැඩිම වෙනසකට පත්ව සිටින්නේ කලක් මියන්මාරයේ විපක්ෂ නායිකාව වූ අවුන්ග් සාන් සූ කී ය. මියන්මාරයේ හමුදා පාලනය පැවති සමයෙහි සූ කී ප්‍රජාතන්ත්‍රවාදී නායිකාවක බවට නමක් දිනා ගත්තාය. ඇය මියන්මාර විපක් ෂයේ පොදු නියෝජිතවරිය බවට පත් වූවා ය. එහෙයින්ම නොබෙල් සාම ත්‍යාගය ආදී විවිධ සම්මාන ද ඇය කරා ගලා ආවේ ය.

කෙසේ නමුත් සැබැවින්ම ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවා බලයට පත් වූ පසු ඇයත් අනෙකුත් බලලෝභී දේශපාලකයනුත් අතර කිසිදු වෙනසක් නොමැති බව පසක් වෙමින් පවතී. රොහින්‍යා අර්බුදය ඊට කදිම උදාහරණයකි. සිය හමුදාව සිදු කරන විවිධ අපරාධයන් නැවැත්වීම සඳහා ඇය කිසිදු උත්සාහයක් නොගනියි. ඇය බොහෝ අවස්ථාවන් හි මෙම ප්‍රශ්නය පිළිබඳව නිහඬතාව රැකීම හෝ හමුදාව පක්ෂය ගැනීම සිදු කරයි.

මෙයට හොඳම උදාහරණය නම් අගෝස්තු 27 වනදා නිකුත් වූ එක්සත් ජාතීන්ගේ වාර්තාව පිළිබඳව ඇයගේ නිහඬතාවයි. අගෝස්තු 28 වනදා ඇය යැන් ගොන් සරසවියේ උත්සවයක් ඇමතීමට නියමිත වූ අතර ලොවම බලා සිටියේ රොහින්‍යා අර්බුදය සහ එක්සත් ජාතීන් ගේ වාර්තාව පිළිබඳ ඇය ප්‍රකාශ කරන්නේ කුමක්ද යන්න යි. සූ කී ඒ පිළිබඳ වදනකුදු නොපැවසූවා ය.

අවුන් ග් සාන් සූ කී ගෙන ඇති ස්ථාවරය තුන්වන ලෝකයේ දේශපාලනයෙහි ඛේදවාචකය පෙන්නුම් කරයි. මෙම රටවල් බොහොමයක ජාතිවාදී, ආගම්වාදී, වර්ගවාදී අදහස් පතුරවමින් බොහෝ දේශපාලකයෝ සිය ඡන් ද පදනම ගොඩ නගා ගනිති. එම තත්ත්වයට පිටින් ගමන් කරන්නන් අතර ජනතාව අතර අති බහුතරයකගේ පිළිගැනීම දිනා ගැනීම පහසු නැත.

මියන්මාරය ද හමුදා පාලනය යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය කරා එළඹීම ඇරඹුණේ 2011 දී පමණ සිට ය. පියවරෙන් පියවර ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වූ අතර එහි එක් අංගයක් වූයේ දශක ගණන් රජයට එරෙහිව කැරලි ගසමින් සිටි සුළු ජාතික කණ්ඩායම් සමග සාකච්ඡා ඇරඹීම ය. නමුත් මේ අතර බුරුම ජාතික බහුතරය අතර ආගම්වාදී, ජාතිවාදී අදහස් පැතිරවීම සඳහා බෞද්ධ කණ්ඩායම් සමහරක් කටයුතු කළෝ ය.

සිය විශාල ජන පදනම තිබියදී සූ කී අදට ද මෙම අන්තවාදයට එරෙහිව සටන් නොකරයි. ඒ වෙනුවට ඇය කරන්නේ ද බෞද්ධ, බුරුම ජනතාවගේ ඡන්දය ආරක්ෂා කරගැනීමේ බංකොලොත් දේශපාලන උත්සාහයකි. මෙසේ වක්‍රාකාරයෙන් වර්ගවාදය සහ ආගම්වාදය සිය දේශපාලනය වෙනුවෙන් යොදා ගන්නා සූ කී ගේ නොබෙල් සාම ත්‍යාගය ඇගෙන් ආපසු ගැනීම සිදු කළ යුතු ය. මක් නිසාද යත් සිය ජනතාව වඩා යහපත් යුගයක් කරා ගෙනයාමට තමන්ට ඇති අවස්ථාව පැහැර හරිමින් ඇය ද සාමාන්‍ය වර්ගවාදී දේශපාලනයක යෙදෙන බැවිනි.

මියන්මාර ප්‍රතිචාරය..

මියන්මාර රජය දින දෙකක් ගිය තැන යට කී එක්සත් ජාතීන්ගේ වාර්තාවට ප්‍රතිචාර දුන්නේ ය. ඒ එරට මාධ්‍ය ආයතනයක් සමග රජයේ ප්‍රකාශකයකු කළ සාකච්ඡාවකදී ය. මියන්මාර් රජය කියා සිටින්නේ එම වාර්තාව පිළියෙල කිරීමේදී අදාළ කමිටුව මියන්මාරයට නොපැමිණි බවත් එහි චෝදනා පිළිගත නොහැකි බවත් ය. මානව අයිතිවාසිකම් සුරැකීම කෙරේ මියන්මාරය විශාල අවධානයක් යොමු කරන බව ද ඔහු කියා සිටියේ ය.

මියන්මාර් රජය පුන පුනා ප්‍රකාශ කරන්නේ තමන් සිවිල් වැසියන්ට පහර නොදෙන අතර මුස්ලිම් කැරලිකරුවන් හා යුධ වැදීම පමණක් සිදු කරන බව ය.

රජය ප්‍රකාශ කරන කරුණුවල යම් සත්‍යතාවයක් තිබේ. රොහින්‍යා ප්‍රශ්නයේ අග මුල සොයා ගියහොත් සියළු පක්ෂවල වැරදි ඇති බවක් පෙනී යනු ඇත. මීට පෙර කාලයන්හි ද මෙම ප්‍රදේශයේ කැරලි මෙන්ම රාජ්‍ය මර්ධනය ද සිදු වී තිබේ. නමුත් වර්තමානයේ මෙම ප්‍රදේශයන් හි කැරලි කණ්ඩායම් වර්ධනය වී ඇත්තේ රජයේ මර්ධනයට පිළිතුරක් ලෙස බව පිළිගත යුත්තකි.

රොහින්‍යා ජනතාව වෙන ම සංස්කෘතියකින් යුතු ජනතාවකි. නමුත් මියන්මාරය ප්‍රකාශ කරන්නේ ඔවුන් බංග්ලාදේශයෙන් පැමිණි අනවසර සංක්‍රමණිකයන් බව ය. 2014 ජන සංගණනයට පවා ඔවුන් ඇතුලත් කෙරුණේ නැත. එමෙන්ම මියන්මාර හමුදා රොහින්‍යා සිවිල් වැසියන්ට සංවිධානාත්මකව පහර දෙන බවට බොහෝ සාක්ෂි ලැබෙමින් පවතී.

කැරලිකරුවන් මර්ධනය කිරීම සඳහා යයි පවසමින් හමුදාව සහ ඔවුනගේ අනුබලය ඇති වෙනත් පිරිස් රොහින්‍යා ගම්මාන ගිනි තබදි; සිවිල් වැසියන් මරා දමති; කාන්තාවන් කල්ලි ගැසී දූෂණය කරති. එමෙන්ම ඔවුන් පළා යන මාර්ග හරහා බිම් බෝම්බ ඇතිරීම පවා සිදු කළ බවට චෝදනා ඇත. මෙම චෝදනා පිළිබඳ හමුදාව පැහැදිලි කළ යුතුව තිබේ.

කවුද හරි?

රොහින්‍යා ප්‍රශ්නයෙහි අග මුල සොයා ගොස් හරි වැරැද්ද කවුරුන් අත වේද යන්න සොයා බැලීම වැදගත් විය හැක. නමුත් වසර ගණනකට පෙර කවරෙකු හෝ කළ වැරදි හේතුවෙන් අද ජීවත් වන අහිංසකයන් ඝාතනය කිරීම කුමන පදනමකින් හෝ සාධාරණීකරනය කළ නොහැක.

එමෙන්ම හමුදාව විසින් මේ සිදු කරන ක්‍රියාකාරකම් රොහින්‍යා මුස්ලිම් ජනතාව අතර අන්තවාදය මැඩීමට නොව එය වැපිරීමට හේතු වී තිබේ. රොහින්‍යා ජනතාව අතර අන්තවාදී අදහස් එතරම් රෝපණය වූ බවක් නොපෙනේ. ඔවුනගේ ඇඳුම් පැළඳුම්, ඇවතුම් පැවතුම් ආදිය නිරීක්ෂණය කරන්නකුට ඒ බව අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් මර්ධනය හමුවේ මධ්‍යස්ථ මතධාරීන් යටපත් වී අන්තවාදීන් ඉස්මතු වීම සිදු වෙමින් පවතී.

සාමාජිකයන් සියයකටත් අඩු සංවිධානයක් වූ සංවිධානය 1983 කළු ජූලියෙන් පසු සීඝ්‍රයෙන් ප්‍රසාරණය වූ අයුරු අපි දැක ඇත්තෙමු. රොහින්‍යා ජනතාව අතර ද එම තත්ත්වය සිදු වීමේ අවදානමක් ඇත.

යම් හෙයකින් එසේ අන්තවාදය පැතිර ගියහොත් එවිට රොහින්‍යා ජනතාවට පහර දීමට මියන්මාර් හමුදාවන්ට තවත් නිදහසට කරුණක් ලැබෙනු ඇත. මියන්මාරයේ වර්ගවාදී දේශපාලකයන්ට ද අවශ්‍යව ඇත්තේ එය බවට සැකයක් නිතැතින් ම උපදී.

 

සිළුමිණ
2018.09.02

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 6, 2018 08:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්