මාස ගණනක් තිස්සේ දින ගනිමින් සිට ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට එරෙහිව පැවැත්වූ අසාර්ථකම උද්ඝෝෂණය අද කොළඹදී දැකගත හැකි වුණා.
කොළඹ නගරයේ සියලු රජයේ ආයතන වටළා, ආණ්ඩුව වෙනස් කරන බවයි ඒකාබද්ධ විපක්ෂය සදහන් කළේ. එහෙත් උද්ඝෝෂණය අසාර්ථක වුණා. උද්ඝෝෂණයට සහභාගිවීම සදහා ඒකාබද්ධ විපක්ෂයෙන් නායකයින් ඔවුන්ගේ සුපිරි නිවාසවලින් පිටවූයේ සුඛෝපභෝගී වාහනවලින්. එහෙත් උද්ඝෝෂණයට සාමාන්‍ය ජනතාව පැමිණියේ සාමාන්‍ය ප්‍රවාහන සේවාවලින්. කෙසේ වුවද බලය තිබුණු කාලයේ රාජ්‍ය දේපොළ මංකොල්ලකමින් හම්බ කළ ධනය යොදවා ඒකාබද්ධ විපක්ෂය ඔවුන්ගේ ආධාරකරුවන්ට බොන්න දුන් දිනයක් පමණක් ලෙස අද දේශපාලන ඉතිහාසයට එක්වනවා.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂයට ආරාධනා කළේ තරු හතේ ප්රජාතන්ත්රවාදය අත්විඳින්නට කොළඹට පැමිණෙන ලෙසයි. පසුගිය වසර තුනක කාලය තුළදී ආණ්ඩුව මෙරට ඇති කළ වෙනස කුමක්ද යන්න පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ ආධාරකරුවන්ට පවා අද දිනයේ හොඳින් වැටහී තිබුණා. පසුගිය ආණ්ඩු කාලයේ පැවැති උද්ඝෝෂණවලදී පොලිස් ප්‍රහාර අනිවාර්ය අංගයක් වුණා. සරසවි සිසුන්ගේ සහ රාජ්‍ය සේවකයන්ගේ ඔළු පැළීමට එකල ආණ්ඩුවෙන් නොනිල බලයක් ලබාදී තිබුණා. ඕනෑම අවස්ථාවකදී උද්ඝෝෂණවලට එරෙහිව අධිකරණවලින් වාරණ නියෝග ගන්නට අවස්ථාව විවෘත කර තිබුණා.
එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණය මගින් මහජන පීඩාවක් ඇති වන බවටත්, ජනාධිපති නිල නිවස, අරලියගහ මන්දිරය සහ පාර්ලිමේන්තුව වැටළීමේ සූදානමක් ඇති බවටත් කියමින් කුරුඳුවත්ත, කොල්ලුපිටිය සහ තලංගම පොලිසි මගින් ඉදිරිපත් කළ වාරණ ඉල්ලීම් අධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති ප්රකාශනයේ නිදහස, අධිකරණයේ ස්වාධීනත්වය මේ ආණ්ඩුව යටතේ ආරක්ෂා වන්නේ ඒ ආකාරයටයි.
ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ට තමන්ගේ ආධාරකරුවන් සමග එකට හිටගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බව අද දිනයේ පැහැදිලි වුණා. ආධාරකරුවන් මහ පාරේ පෙළපාලියෙන් එන විට මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ පාරට බැස්සේ හිල්ටන්, ෂැන්ග්‍රිලා සහ ටාජ් යන තරු පහේ හෝටල් වලිනි. ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ලෙස පෙනී සිටින අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආවේ සුඛෝපභෝගී බස් රථයකිනි. ආණ්ඩුව වෙනස් කර තමන්ට බලය අරගෙන දෙන්නට දවසේ කුලී රස්සාවට නොගොස් කොළඹ ආ ජනතාව අතරටවත් යන්නට රාජපක්ෂලාට අවශ්‍යතාවක් නොවීය. ඔවුන් අතරට ගොස් අඩු තරමේ කෑවාද, බිව්වාද අහන්නටවත් ඒකාබද්ධයේ අනෙකුත් නායකයන්ටද අවශ්‍ය නොවීය.
සල්ලි බෙදිල්ලත්, අරක්කු බෙදිල්ලත් මහින්ද රාජපක්ෂලාට අලුත් දේවල් නොවේ. පහුගිය ආණ්ඩුව පැවැති කාලයේදී ඡන්ද කළේ මේ අල්ලස් වලින්ය. බලය නැති වුණත්, රාජ්‍ය දේපොළ මංකොල්ලකමින් හම්බ කළ සල්ලි වලින් අද දවසේත් ඔවුන් පරණ පුරුදු වැඩේ කළේය.
සෙනඟ පෙන්වා තමන්ගේ කාලයේ කළ අපරාධ පිළිබඳ නඩු යටගැසීමේ උත්සාහය අසාර්ථක බව දුටු ගමන් රාජපක්ෂලා මාරු විය. තමන්ගේ පවුලේ අය හැර අනෙකුත් සියල්ලන්ට නඩුවලදීද ඔවුන් බෙදන්නේ මේ හැන්දෙන්මය. සල්ලි බෙදා, අරක්කු බෙදා තවදුරටත් රාජපක්ෂලාට බලය අල්ලාගැනීමේ උන්මත්තක ආශාව ඉටුකරගන්නට නොහැකි බවට අද පැවැති උද්ඝෝෂණය හොඳම නිදසුනකි.
සල්ලිවලට, අරක්කු බෝතලයට වහල්කම් කරන පිරිස ක්‍රමයෙන් අඩුවෙමින් පැවතීම රාජපක්ෂලාගේ දේශපාලන අනාගතයට මරු පහරකි. හිටපු ජනාධිපතිවරයා විජේරාමයේ පිහිටි නිල නිවසින් පිටත්ව යන විට පාරේ වැටී සිටි ඔහුගේ ආධාරකරුවා ඊට හොඳම උදාහරණයකි. මීට වසර දෙකකට පෙර මහින්ද යන යන තැනට එකතු වූ ජනතාව වෙනුවට දැන් ඔවුන්ට ඉතිරි වෙමින් පවතින්නේ මේ ජාතියේ වහලුන් පිරිසක් පමණි.
නාමල් රාජපක්ෂලා රට වටේ ගොස් කතා පැවැත්වූවාට, ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව පෙන්නුවාට දැන් වැඩක් නැත. ඒ කාලයේ ඔවුන් කළ අපරාධ වල තරම දැන් ජනතාවට වැටහෙමින් තිබේ. මේ රාජපක්ෂලාට අවශ්‍ය වී ඇත්තේ වෙන කිසිවක් නොවේ. ආධාරකරුවන්ගේ කර මතින් ගොස් හිරේ විලංගුවේ වැටෙන එකෙන් බේරෙන්නටය. තරු හතේ ප්රජාතන්ත්රවාදයක් තිබිලාත් මේ තරම් අසාර්ථක උද්ඝෝෂණයක් කොට, රාජපක්ෂලාට මාරු වෙන්නට සිදු වූයේ ජනතාව දැන් මේවා තේරුම් ගනිමින් සිටින නිසාය.