ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා සභාපති ධූරයට පත්විමත් සමග එම සමාගම බිලියන ගණනින් පාඩු ලැබූ බව ඊයේ හෙළි වුණා. ඒ ශ්‍රී ලන්කන් එයාර් ලයින් , ශ්‍රී ලංකා කේටරින් හා මිහින් ලංකා යන සමාගම්වල දූෂණ හා අක්‍රමිකතා පිළිබද සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේයි.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මුල්‍ය කළමනාකරණ ප්‍රධානී යසන්ත දිසානායක මහතා කොමිසම හමුවේ කියා සිටියේ 2012 වසරේ සිට ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 46.6ක මුදලක් සෘජු වශයෙන් ආයෝජනය කර තිබූ බවයි. 2006 / 2007 වානිජ වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගම රුපියල් මිලියන 568ක ලාභයක් උපයා තිබෙනවා. එය 2007/ 2008 වානිජ වසරවලදී රුපියල් බිලියන 4.4ක ලාභයක්. කෙසේ නමුත් එමිරේට්ස් සමාගම ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කළමනාකාරීත්වයෙන් ඉවත් වීමත් සමග පාඩු ලැබීම ආරම්භ වී තිබෙනවා. ඒ අනුව 2008 / 2009 වානිජ වර්ෂයේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා සහ එහි ප්‍රධාන විධායක නිලධාරී මනෝජ් ගුණවර්ධන මහතාගේ සමයේදී රුපියල් බිලියන 9.3ක පාඩුවක් ලබා තිබෙන බව ඒ මහතා කියා සිටියා. එම පාඩුව 2009/ 2010 වානිජ වර්ෂයේදී බිලියන 2.69ක්. එය 2010 / 2011 වානිජ වර්ෂයේදී රුපියල් මිලියන 381 ක් වන බවයි ඔහු ප්‍රකාශ කළේ. කපිල චන්ද්‍රසේන මහතා ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් වූ පසු 2011/ 2012 වානිජ වර්ෂයේ දී මෙම පාඩුව බිලියන 19.6කින් ඉහළ ගොස් තිබෙනවා. එය 2012/ 2013 වානිජ වර්ෂයේ දී බිලියන 21.7ක් ද 2013/ 2014 වානිජ වසරේ බිලියන 32.4ක් දක්වා ද එම මුදල ඉහළ ගොස් තිබෙන බව අදාළ ලේඛන ඉදිරිපත් කරමින් ඔහු කියා සිටියා. 2014/ 2015 වානිජ වර්ෂයේදී මෙම පාඩුව රුපියල් බිලියන 16.4ක් ද 2015/ 2016 වානිජ වර්ෂයේ දී රුපියල් බිලියන 12.6ක්ද 2016/ 2017 වානිජ වර්ෂයේ දී රුපියල් බිලියන 28.9ක් ද වන බවයි කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු කියා සිටියේ. මේ අතර ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන කොටස්කරුවා වන එමිරේට්ස් සමාගම ඉවත් වූ පසු රාජ්‍ය ආදායම් පිළිබද පරීක්ෂා කර බැලීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය නියෝජනය කිරීමට මහා භාණ්ඩාගාර නියෝජිතයෙකු නොසිටි බවද අද අනාවරණය වුණා.