fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොත් අතර අතරමං වෙන්න කළින්…

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 1, 2018 08:30

පොත් අතර අතරමං වෙන්න කළින්…

තාක්ෂණයේ සහ සන්නිවේදන විද්‍යාවේ දියුණුවත් එක්ක බුද්ධිමතා හෝ උගතා යනු පොත් හා ලේඛන විශාල ප්‍රමාණයක් අතර සැරිසරන්නා කියන පැරණි අදහසට සංශෝධන එකතු වෙමින් පවතිනවා. අද වනවිට දැනුම ලබාගත හැකි මාර්ග ගණන වැඩියි. එයින් ලෙහෙසියෙන්ම දැනුම තොරතුරු ලබාගත හැකි මාර්ගයක් ලෙස අන්තර්ජාලය ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා.

නමුත් නවීන තාක්ෂනෙත් එක්ක පොත් කියවන එක සමාජෙන් තුරන් වෙලා කියලා කිව්වට පොත් කියවන අය අපේ රටේ ගොඩක් ඉන්නවා. හැබැයි ඉතින් අපේ රටේ වුණත් අවුරුද්දකට ලියවෙන සහ පරිවර්තනය වෙන පොත් සංඛ්‍යාව එක්ක බැලුවොත් කියවන්න හොඳ පොතක් ‍තෝරගන්නවා කියන්නේ ගොඩක් අමාරු කටයුත්තක්. ඒ නිසා තමයි තමන්ට කියවන්න ඕන කරන පොත් ‍තෝරගන්න හොඳ පරිචයක් ඕනැයි කියලා  කියන්නේ. සාමාන්‍යයෙන් පොඩිම කාලේ ඉඳලා මේ වෙනකල් පොත් කියෝන මනුස්සයෙක්ට නං තමන්ට ඕන පොත් ‍තෝරගන්න කරදර වෙන්න දෙයක් නෑ. මේ ලිපිය ඒ අයට නෙවෙයි. තාම ඉංගිරිසි හරි සිංහල හරි හොඳ පොතක් ‍තෝරගන්නෙ කොහොමද කියලා ලොකු අවබෝධයක් නැති අයට.

 

 

 ලිස්ට් එකක් හදමුද?

අර පිස්සුවෙන් අහුවුණු අහුවුණු පොත කියෝපු කාලයක් තිබුණනේ. ඒක වැ‍රැද්දක් නෑ, ඉස්කෝලෙ යන කාලේ ඉන්න කෙනෙක්ට. ඇයි පොත් කියවන්න ඕන තරම් වෙලාව තිබුණනේ. හැබැයි ඉතිං ඔය රස්සා කරන, පවුල් නඩත්තු කරන අයට එහෙම පොත් කියවන්න වෙලාවක් නෑ. ඒ හින්දා තමන්ට කියවන්න ඕන කරන පොත් මොනවද කියලා දැනගෙන ඉන්න එක වැදගත්.

සමහරු ආසයි සුජීව ප්‍රසන්නාආරච්චිගේ, චන්දි කොඩිකාරගේ පොත්වලට. තව අය ආස චන්දන මෙන්ඩිස්ගේ ෂර්ලොක් හෝම්ස් පොත් කියවන්න විතරයි. තව කට්ටිය ඓතිහාසික නවකතා කියවන්න කැමතියි. සමහරු විද්‍යා ප්‍රබන්ධවලට ආසයි. මෙහෙම තමන් කැමති එක තැනකට විතරක් සීමා වෙන එක හොඳ නෑ. හැබැයි මූලිකවම මේ අවුරුද්ද ඇතුළේ මම කියවන්නේ මෙන්න මේ පොත් ටික කියලා ලැයිස්තුවක් ගන්න එක සෑහෙන ලේසී. ඒකෙන් තමන්ට අවශ්‍යම පොත්වලට ප්‍රමුඛත්වය දීලා කියවන්න පුලුවන්.

 

 සම්මාන ටික බලලා පොත් ටික ගමුද?

මේක අපේ රටේ සිංහල පොත් කියවන ගොඩක් දෙනා පොත් ‍තෝරන ක්‍රමයක්. ස්වර්ණ පුස්තක සම්මාන, ගොඩගේ සම්මාන, රාජ්‍ය සාහිත්‍ය සම්මාන හම්බුණු පොත් සෙට් එක බැලුවා, ගත්තා, කියෙව්වා. මේකත් අවුලක් නෑ, හැබැයි සම්මාන උත්සව ගැන කියනකොට –විවිධ චෝදනාත් එල්ලවෙනවා. ඒ නිසා එහෙම සම්මානෙ බලලා පොත් ‍තෝරනවනං හොඳම දේ තමයි අන්තිම වටේට ආපු පොත් සෙට් එකම අරන් කියවන එක. අඩු ගාණේ සම්මානේ දීලා තියෙන්නේ වැරදි පොතකට නං විනිශ්චය මණ්ඩලේට බනින්න හරි පුලුවන්නේ.

 

දන්න කෙනෙක්ගෙන් අහගෙන ගියොත්?

සාමාන්‍යයෙන් ඔය පොත් ගැන දන්න උදවිය ඉන්නවනේ.අවංකවම පොත් පත් ගැන ප්‍රාමාණික දැනුමක් තියෙන කෙනෙක් තමයි මේ වැඩේට ඕන. ඒ මනුස්සයට කියන්න ඕන තමන්ගේ කැමැති අකැමැති භාෂා රටා මොනවද, මොනවගේ පොත්ද හොයන්නේ කියලා. අන්න එතකොට මනුස්සයා තමන්ගේ දැනුමේ ප්‍රමාණෙට උදවු කරයි හොඳ පොතක් ‍තෝරගන්න.

හැබැයි එකක් ඔලුවේ තියාගන්න ඕන. කෙනෙක්ට හොඳ නැහැ කියලා හිතෙන පොතක් තව කෙනෙක්ට හොඳ වෙන්න පුලුවන්.මේ දේවල් පුද්ගලානුබද්ධයි. ඒ නිසා කෙනෙක්ගෙන් ඇහුවත්, ගෘප් එකකින් ඇහුවත් පොත ගැන තියෙන විවිධ අදහස් ඔක්කොම විමසලා තමයි පොත තමන්ට හරියනවද නැද්ද කියලා තීරණේ කරන්න පුලුවන් වෙන්නේ.

 

 පෙරවදන සහ පසුවදන කියවන්න ඕනද?

පොත් කඩේකට ගිහින් අහඹු විදියට පොතක් හෝ කීපයක් ‍තෝරගෙන එන එක අපි හැමෝම කරන දෙයක්නේ. අන්න එතකොට එහෙම පොතක් ‍තෝරගන්න කරන්න පුලුවන් දේවල් තියෙනවා. එකක් තමයි පොතත් එක්ක ලැබෙන පළවෙනි හැඟීම සලකා බලන එක. ඒ කියන්නේ අර ෆස්ට් ඉම්ප්‍රෙෂන් කියන එක. අන්න ඒකට ඉතින් පොතේ නිමාව, පොතේ පිටකවරය වගේ දේවල් බලපානවා. එතකොට ගොඩක් දෙනා පොතේ පෙරවදන සහ පසුවදන කියවනවා. සමහරු පොතේ පි‍ටු කීපයක් කියවනවා. ඇත්තටම ඒකෙන් අදහසක් ගන්න පුලුවන් රචනා ශෛලිය ගැන. සමහර වෙලාවට බොහොම බරසාර ශෛලියකින් ලියලා තියෙන පොතක් කෙනෙක්ට හරි නොයන්න පුලුවන්. ඒක ගැන දැනගන්න පුලුවන් පි‍ටු කීපයක් කියවලා.

අනික් කාරණාව තමයි මුල් පි‍ටු කීපයක් කියවනකොට තේරෙනවා භාෂාව හැසිරවීම කොහොමද කියලා. සාමාන්‍යයෙන් පොතක් ලියනවා නං හොඳ බස හැසිරවීමක් අනිවා තියෙන්න ඕනනේ. ඒකෙන් පොතක හොඳ නරක මනින්න පුලුවන්. හැබැයි ඔය ඔක්කොම බලලත් ගත්ත පොත් කියවලා බැලුවට පස්සේ අය්යෝ සල්ලි වෙන්න පුලුවන්.

 

 ලියපු කෙනත් වැදගත් නේද?

මෙන්න මේක ගොඩක් දෙනෙක් කරන එකක්. දැන් චේතන් භගත්ගේ පොතක් කියවපු මනුස්සයෙක් බලාගෙන ඉන්නවා චේතන් භගත් පොතක් ලියනකල්. ජයසේන ජයකොඩිගේ පොතකට ආස මනුස්සයෙක් පොත් කඩේකදී ජයසේන ජයකොඩිගේ පොතක් දැක්කොත් දෙපාරක් නොහිතා ගන්නවා. අන්න එහෙම තමන් හොඳයි කියලා හිතන කතුවරයෙක්ගේ පොතක් ගන්න එකත් අවුලක් නෑ. හැබැයි මෙතනදී තව දෙයක් වෙන්න පුලුවන්. මංජුල වෙඩිවර්ධනගේ බත්තලංගුණ්ඩුව කියවලා පිස්සු වැ‍ටුණු කෙනෙක් මංජුලගේම ආදරණීය යක්ෂණී අරන් කියවන්න අමාරුයි කියලා පැත්තකින් තියනවා. ඒක හැබැයි කතුවරයාගේ අවුලක් නෙවෙයි, කියවන්නාගේ මට්ටම පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා හොඳම දේ තමයි තමන් ආස කතුවරයෙක්ගේ පොතකට ප්‍රමුඛත්වය දෙන එක. ඒ ක්‍රමේට පොතක් ‍තෝරනකොට තමන්ට නීරස පොතක් ගෙදර ගේන්න තියෙන ඉඩ අඩුයි.

 

 යුගයේ කතාව ?

දැන් දැන් තමන්ගේ පළවෙනිම පොත ලියන හාදයත් පොත ප්‍රොමෝට් කරන්නේ යුගයේ විශිෂ්ටතම හිත නිවන කතාව, යුගයක් සසල කරන කඳුලු කතාව වගේ වචන දාලා තමයි. දැන් කාලේ ඕනම කෙනෙක් යුගයේ ශ්‍රේෂ්ටතම රචකයා කියලා හිරිකිත නැතුව තමන්ම කියා ගන්නවා, එක්කෝ තමන්ගේ හෙංචය්යෝ දාලා කියවගන්නවා. ඕන්න ඕවා මොළේ තියෙන මනුස්සයෙක්ට අල්ලගන්න පුලුවන්. විශේෂයෙන්ම ඔය පත්තරේක එහෙම පළවෙන පොතක් වුනත් හැබෑවටම කරපු ගුණදොස් විචාරයක්ද, නැත්තං අර යාලුවෙක්ට බෑ කියන්න බැරි කමට කරපු විචාරයක්ද කියලා කියවගෙන යනකොට තේරෙනවා. එතකොට ඔය තවත් පත්තරවල විචාරකයෝ ඉන්නවා මලාට පොතකට හොඳක් කියන්නෙ නැති. හැබැයි අපි පාඨකයෝ විදියට ඇස් කන් ඇරගෙන මේ වගේ විචාරයක් කියවනකොට පොත ගැන හොඳ අදහසක් ගන්න පුලුවන් වෙනවා. ආන්න ඒ අදහසට අනුව පොත තමන්ට ගැළපෙනවද නැද්ද කියලා හිතාගන්න.

 

 වැඩිම සංඛ්‍යාවක් විකිණිච්ච පොත?

 

සාමාන්‍යයෙන් පොතක් සෑහෙන්න මුද්‍රණ වාර පහු කරනවා කියන්නේ ඒ පොත විකිණිලා කියන එක. එහෙම පොතක් අරගෙන බැලුවට වරදක් නෑ. මොකද නරක පොතක් නං ඔය තරමට මිනිස්සු කියවන්නෙ නෑනේ. වැඩිම සංඛ්‍යාවක් විකිණිච්ච පොතක් වුණත් තමන්ට අල්ලනව ද කියලා හොයලා බලලා ගන්න.

 

 පොත් කියවන ක්ලබ් එකකට සෙට් වෙමුද?

ලංකාවේ එහෙන් මෙහෙන් තිබ්බට ඔය බුක් ක්ලබ් කියන කන්සෙප්ට් එක මහා පරිමාණෙන් සිද්ධ වෙන්නෙ නෑ. හැබැයි ඉංග්‍රීසි පොත පත කියවන කෙනෙක්ට වර්චුවල් බුක් ක්ලබ් එහෙමත් දැන් තියෙනවා. එතකොට ගුඩ් රීඩ්? ආන්න ඒකත් පොතක් ‍තෝරගන්න වටින ක්‍රමයක්.  ගුඩ් රීඩ් එකෙන් ඉංග්‍රීසි සහ වෙනත් ලෝකේ ජනප්‍රිය පතපොත ගැන ඕනෑ පදං විස්තර හොයාගන්න පුලුවන්. ගුඩ් රීඩ් එකේ පොතකට දීලා තියෙන රේට් එක බලලා, ඒකේ පොත ගැන තියෙන විචාර කියවලා පොත ගැන ඉතාම හොඳ අදහසක් ලබාගන්න පුලුවන්.

 

මේ ඔක්කොම ක්‍රම අනුගමනය කරලා ආයෙමත් යන්න පුලුවන් අංක එකට කිව්ව ලිස්ට් එකක් හදන වැඩේට. දැන් ලිස්ට් එක හදාගත්තට පස්සෙ පුලුවන් ඒකට අනුව පොත් කියවන්න.ඒකෙන් තමන්ට අවශ්‍යම පොත් විතරක් කියවන්න ලැබෙනවා. ඒ ලිස්ට් එක කියවලා ඉවර වුණායින් පස්සේ ආයෙමත් ලිස්ට් එකක් හදනවා ඊලඟ අවුරුද්දට.එහෙම නේද හොඳ???

 

-ශානිකා රත්නායක-

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 1, 2018 08:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්