fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කිඹුල් කඳුළු හෙළන මහත්තුරුන්ගේ කෙරුවාව හෙළි කරන ගන්සයිඩ් මිනී මැරිල්ල..

ITN News Editor
By ITN News Editor අගෝස්තු 30, 2018 15:06

කිඹුල් කඳුළු හෙළන මහත්තුරුන්ගේ කෙරුවාව හෙළි කරන ගන්සයිඩ් මිනී මැරිල්ල..

(අතුරුදන්වූවන් පිළිබඳ තවත් ජාත්‍යන්තර දිනයකදීය.)

ලෝකය සෑදී ඇත්තේ අම්මාගේ කිරි වලින් කියන්නේ බොරුවකි. එහෙම නම් ඒ අම්මලාට මේ විදියට උසාවි ගාණේ රස්තියාදු වෙන්නට සිද්ධ වන්නේ නැත. ඒ අම්මලාට තමන් කිරි දී හැදූ දරුවන් ගෙදර එන තෙක් හූල්ලන්නට සිදු වන්නේ නැත. අඩු තරමේ මැරූ බව දැන දැනත්, ඒ මිනීවලට අවසන් ගෞරව දක්වන්නට වත් නොහැකිව අඬන්නට සිදු වන්නේ නැත.

ඔය කියන විදියට ලෝකය සෑදී ඇත්තේ අම්මාගේ කිරි වලින් නම්, ලෝකයට ඒ අම්මලාගේ දුක දැනෙන්නට  ඕනෑ ය. ඒත් එහෙම නැත. අවුරුදු නවයක් තිස්සේ ඒ අම්මලා උසාවි ගාණේ ගාටති. ආණ්ඩු මාරුව සිද්ධ වෙන කාලයේ ලසන්ත වික‍්‍රමතුංගලා, ප‍්‍රගීත් එක්නැලිගොඩලා, වසීම් තාජුඩීන්ලා වගේ ම මේ අම්මලා ගැනද සෑහෙන තරම් කතා කෙරිණි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අවුරුදු හතක් තිස්සේ වින්ද දුක ඔවුන් තවදුරටත් විඳිය යුතු නැත. හිස් බලාපොරොත්තුවකින් ජීවත්වීම යනු බරපතළ ඛේදවාචකයකි.

මේ ලියන්නේ ඒ අම්මලාට දරුවන් නැති කළ මිනීමරුවන්ගේ කතා ය. ඒ අම්මලාගේ කතා ය.

නාවික හමුදා බුද්ධි අංශය මගින් කොළඹ, චෛත්‍ය පාරේ පිට්ටු බම්බුව සහ ත‍්‍රීකුණාමලයේ නාවික හමුදා කඳවුරේ ගන්සයිඩ් නම් ස්ථානයේ ඒ අම්මලාගේ දරුවන් රඳවාගෙන සිට ඇත. ඉන්පසු ව මරා දමා ඇත.

බහුතර සමාජයට ඔවුහු දෙමළුන් වූහ, එල්ටීටීඊයට සහාය දුන් අය වූහ. ඒත් කිසිවක් ඔප්පු වී තිබුණේ නැත. ඔප්පු වුණත් ඔවුන් අතුරුදන් කරන්නට, මරා දමන්නට නාවික හමුදාවටඅයිතියක් ලැබුණේ කෙසේද? නාවික හමුදාව තමන්ගේ ගෞරවය බේරාගැනීම ස`දහා මිනීමරුවන් රකින්නට උත්සාහ කරමින් සිටින්නේය. හරියටම මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ ව අධිකරණය මගින් යුද හමුදාවෙන් ඉල්ලූ තොරතුරු දීම මගඇරියා වගේ ය. වගකිවයුත්තන් මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගත යුතුය.

රජීව් නාගනාදන්, ප‍්‍රදීප් විශ්වනාදන්, මොහොමඩ් ඩිලාන්, මොහොමඞ් සාජිත්, තලකේශ්වරන් රාමලිංගම්, ත්‍යාගරාජා ජෙගන්, සූසෙයිපිල්ලෙයි අමලන් ලියෝන්, සූසෙයිපිල්ලෙයි රොෂාන් ලියෝන්, ජෝන් රීට්, කස්තුරිආරච්චිගේ ඇන්ටනී සහ අලි අන්වර් මේ විදියට උසාවි ගාණේ රස්තියාදු වන අම්මලාගේ දරුවන් ය. මේ පිරිස ඇතුළු විසි හත් දෙනකු මේආකාරයට නාවික හමුදාව විසින් අතුරුදන් කළ බව මූලික පරීක්ෂණ වලදී හෙළි වී තිබේ. ඒ ගන්සයිඞ් සහ පිට්ටු බම්බුවේ පමණකි. ඒත් දැනට ඇති තොරතුරු පමණි. ඒ නිසා එය එතෙකින් නැවතුණා වන්නට බැරි ය.

ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, වසීම් තාජුඞීන් ඝාතනය, වැලිකඩ බන්ධනාගාරයේ ලැයිස්තුගත සමූහ ඝාතනය, රතුපස්වල නිරායුධ සිවිල් ජනතාව මරා දැමීම වැනි අපරාධ වලට වගේම මේ අපරාධයට අදාළවත් යුක්තිය ඉටු විය යුතුය. මෙය මගහරින්නට කිසිවකුට සාධාරණ හේතු නැත. ඒ අම්මලා තනි කිරීම ඔවුන්ගේ දරුවන්අතුරුදන් කළා වැනි ම අපරාධයකි.

එවැනි තත්ත්වයක් යටතේ ය, අද දිනයේ අතුරුදන්වූවන් පිළිබඳ තවත් ජාත්‍යන්තර දිනයක් සමරන්නේ.

අදාළ සිද්ධිය නැවත මතක් කර ගත යුතුය. එය නාවික හමුදා නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති කට උත්තර හරහා ම මතක් කර ගැනීම වටී.

ඔවුන් රණවිරුවන් ද, මිනීමරුවන් ද කියා ඔබට තීරණය කළ හැකිය. මේ දැනට අධිකරණයේ පවතින කරුණු ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කර ඇති කරුණු ය.

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ

‘….. කමාන්ඩර් සම්පත් මුණසිංහ දක්ෂ නිලධාරියකු නිසා තමන්ගේ ආරක්ෂාවට තබා ගත් බවත්, පසුව සම්පත් මුණසිංහ කඳවුරෙන් පැනගොස් තිබූ බවත්, පුද්ගලයන් පස්දෙනකු පැහැරගෙන යාමට සම්බන්ධ බවට සැක කළ හැකි බවත් ….’

සම්පත් මුණසිංහ යනු දැනට ඇප මත සිටින මේ සිද්ධියේ පළමු විත්තිකරු ය. ඔහුට අදාළ චෝදනාව එල්ල කරන්නේ ඒ කාලයේ හිටපු නාවික හමුදාපතිවරයා ය. එයින්ම චෝදනාවේබරපතලකම සහ රාජකාරි කර ඇති ආකාරය පැහැදිලි ය. හිටපු නාවික හමුදාපතිවරයාට ද මේවාගෙන් ගැලවිය නොහැකිය. ඔහුට සම්පත් මුණසිංහ හෙවත් නේවි සම්පත් මේවා කළාකියා ඇ`ග බේරාගත නොහැකිය. එසේ නම් නාවික හමුදාපතිවරයකු සිටියේ ගෙදර ගිය පසු ක`දුළු හළන්නද?

මා. ආරච්චිගේ සරෝජනී පෙරේරා

‘…… 2008 සැප්තැම්බර් 17 වැනි දින දෙහිවලදී පැහැරගැනීමට ලක්වූ තරුණයන් පස්දෙනා අතර සිටි රජීව් නාගනාදන්ගේ මව වේ. රජිව් නාගනාදන් කොළඹ, චෛත්‍ය පාරේ නාවිකකඳවුරේ සිටියදී හා තී‍්‍රකුණාමලය ක`දවුරේ සිටියදී විවිධ අංක වලින් අවස්ථා කිහිපයකදී මැය සමග සම්බන්ධකම් පවත්වා ඇත. එසේ ලබාදුන් තොරතුරු අතර වත්තල ප‍්‍රදේශයේදී වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී පැහැරගැනීමට ලක්වූ ජෝන් ද චෛත්‍ය පාරේ නාවික ක`දවුරේ තම පුත‍්‍රයා සමග සිටි බව පවසා ඇත …..’

එනම් ඔවුන් නාවික හමුදාව භාරයේ සිට ඇත. දැන් ඔවුන් අතුරුදන් ය. යම් පොලිස් ස්ථානයකින් සැකකරුවකු අත්අඩංගුවට ගතහොත්, අත්අඩංගුවට ගත් මොහොතේ පටන් ඒසැකකරු සම්බන්ධ පූර්ණ වගකීම අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සතු වේ. පසුගිය කාලයේ එසේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් මරා දමනු ලැබිණි. ඉන්පසු ඔවුන් මාංචු පිටින් ගංගා වලට පැන්නා, පොලීසියට වෙඩි තියන්නට හැදුවා වැනි බොරු ගෙතුවේය. ඒවා බොරු බව දැන දැනත් කිසිදු අධිකරණයකින් හරස් ප‍්‍රශ්න ඇසුවේ නැත. ඒ බොරු පිළිගත්තේය. පොලිස් ස්ථානාධිපතිවරයා වගකීම ඉටු නොකිරීම පිළිබ`දව ප‍්‍රශ්න කළේ නැත.

මෙතැනද ඇත්තේ ඒ ජාතියේ ම සිදුවීම් රැුසකි. නාවික හමුදා අත්අඩංගුවට ගත් පිරිසක් අතුරුදන් ය. ඔවුන් කොළඹ, චෛත්‍ය පාරේ කඳවුරේ සහ ත‍්‍රීකුණාමල කඳවුරේ සිටි බවට සාක්ෂි තිබේ. ඒ කියන්නේ අදාළ කඳවුරු දෙක භාර ව සිටි ඉහළ නිලධාරීන්ට ද මේ අපරාධ වල වගකීමෙන් බේරෙන්නට බැරි ය.

කොමදෝරු රොහාන් නලින් දේවේන්ද්‍ර

‘….. විවිධ නාවික ක`දවුරු වල සේවය කිරීමෙන් පසු ත‍්‍රීකුණාමලය නාවික සහ සාගරික විද්‍යා පීඨයේ විධායක නිලධාරි ලෙස රාජකාරි භාරගත් බවත්, එම කඳවුර පරිශ‍්‍රයේ ගන්සයිඞ් නමින් ස්ථානයක් තිබූ බවත්, තමන් රාජකාරි භාරගන්නා අවස්ථාව වනවිටත් එම ස්ථානය නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයන් විසින් පරිහරණය කළ බවත්, ඔවුන්ගේ සියලූ පරිපාලන කටයුතු නාවික හමුදාපතිගේ පූර්ණ අනුදැනුම මත සහ අධ්‍යක්ෂ නාවික බුද්ධිගේ අධීක්ෂණය යටතේ සිදු වූ බවත්, මේ කටයුතු ස`දහා එවකට විධායක නිලධාරි ලෙස සිටි තමාත්,නැගෙනහිර ආඥාපතිවරුන් ලෙස සිටි සමරතුංග සහ වීරසේකර සම්බන්ධ නොවූ බවත්, ගන්සයිඞ් නමැති ප‍්‍රදේශය ආවරණය කර තිබූ අතර, ඒ තුළට බුද්ධි සාමාජිකයන්ට අමතරව වෙනත් කිසිදු නාවිකයකුට ඇතුළුවීමට අවසරය නොතිබූ බවත් ….’

එනම් ක`දවුරේ ප‍්‍රධානීන්ට, නැගෙනහිර ආඥාපතිවරයාට පවා මේ තරුණයන් රඳවාගෙන සිටි බවට හෙළි වී ඇති ගන්සයිඞ් ප‍්‍රදේශයට ඇතුළුවීම තහනම් ය. නාවික හමුදාපතිවරයා එහිසිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව දැනුවත් ය. මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ සිද්ධියේදී ද යුද හමුදා බුද්ධි අංශය කියන්නේ එල්ටීටීඊය සම්බන්ධ මෙහෙයුමක් ගිරිතලේ කළ බව ය. ඒ මෙහෙයුම ගැන යුද හමුදාපතිවරයා ඇතුළු ඉහළ ම නිලධාරීන් දැනුවත් කළ බව ය. මේ වෙලාවේ ද කතාව ඒක ම ය. ගන්සයිඞ් ක`දවුරේ සිද්ධ වෙන දේ ඉහළ නිලධාරීන් දැන සිටියේ නැද්ද? තමන් ඒ ගැන දැන නොසිටි බවක් ඔවුන්ට කිව හැකිද?

පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල ජනතාවට හමුදාවෙන් වෙඩි තැබූ සිද්ධියේ ද මේ වගේ කතාවක් තිබේ. ඊට අණ දුන් බවට සැක පිට බන්ධනාගාරගත ව සිටින බි‍්‍රගේඩියර් දේශප‍්‍රිය ගුණවර්ධන කියා තිබුණේ තමන් වෙඩි තියන්නට අණ නොදුන් බවකි. ඒ කියන්නේ යුද හමුදා සෙබළුන් විනය බිංදුවට දමා, නියෝගයකින් තොරව හිතූමනාපයේ වැඩ කර තිබේ. එය යුද අපරාධ සනාථ කරන්නට බලා සිටින පිරිස් වලට ද වාසි සහගත කාරණයකි. මේ තරුණයන්ගේ අතුරුදන් කිරීම ද ඊට සමාන ය. නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගත් තරුණයන් අතුරුදන් බවක් කියයි. නැගෙනහිර ආඥාපතිවරයා සහ ක`දවුරු භාර ඉහළ නිලධාරියා කියන්නේ තමන්ට පැත්ත පළාතටවත් යන්නට නොදුන් ආවරණය කළ ප‍්‍රදේශයක් කඳවුර ඇතුළේ ම තිබූ බවයි. මේවා ද යුද අපරාධ සනාථ කරන්නට බලා සිටින පිරිස් වලට වාසි සහගත ය. රණවිරුවන් දංගෙඩියට ගෙන යන බවට කෑමොර දෙන ව්‍යාජ දේශපේ‍්‍රමීන් මේවාදැනගත යුතුය. එකින් එක සිදුවීම් කිරා මැන බැලිය යුතුය. යුද අපරාධ සනාථ කරන්නේ පිටින් නොව ඇතුළෙන් ම ය.

සාමාන්‍ය නැවි ප‍්‍රියශාන්ත හෙවත් පොඩි මල්ලි

‘….. පුද්ගලයන් විශාල පිරිසක් කඳවුර තුළ සිරකරගෙන සිටි බව තමන් දුටු බවත්, එම පුද්ගලයන් සමග කතා කර ඇති බවටත්, එසේ සිටි පුද්ගලයන් වෙඩි තබා, ගැට ගසා බෝට්ටු වලින් මුහුදට ගොස් දැමූ බවත්….’

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එසේ කියා ඇත්තේ මේ ගන්සයිඞ් කඳවුර තුළ සේවය කළ නාවික හමුදා සෙබළෙකි. නැගෙනහිර බුද්ධි අංශය අධීක්ෂණය කළ, මේ නඩුවේ දෙවැනි විත්තිකරු වන ලූතිනන් කර්නල් රණසිංහ යටතේ සේවය කර ඇති මොහු කියන්නේ නාවික හමුදාව සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් මරා දැමූ බවයි. ඉන්පසු මුහුදට ගෙනගොස් දැමූ බවයි. පසුගිය ආණ්ඩුව පැවැති කාලයේ සුදු වෑන් වලින් පැහැරගත් පුද්ගලයන් මරා, ගල් ගැට ගසා මුහුදට දැමූ බවට කතා තිබිණි. මේ නාවික සෙබළා එය ඇත්ත බවට පත් කර තිබේ.

ලූතිනන් කර්නල් වෙලගෙදර

‘…. නැගෙනහිර බුද්ධි අංශය අධීක්ෂණය කළ නඩුවේ දෙවැනි විත්තිකරු ලූතිනන් කර්නල් රණසිංහගේ දෙවැනි නිලධාරියා ලෙස කටයුතු කර ඇත. විශේෂ බුද්ධි ඒකකය භාර ව කටයුතු කර ඇත්තේ ඞී.කේ.පී.දසනායක බව පවසා තිබේ. …….. අලි අන්වර්, රජීව් නාගනාදන්, ජෝන් රීට් කඳවුරේ සිටි බවත් ….. අලි අන්වර්ගේ හිසේ පහරදීමකින් ඇති වූ තුවාල දක්නට ලැබූ අතර, ප‍්‍රතිකාර කිරීම සඳහා සෙනෙවිරත්න නිලධාරියාට දැනුම් දුන් බවත් ප‍්‍රකාශ කර ඇත. දිනක් රාත‍්‍රියක ගන්සයිඞ් තුළ පුද්ගලයන් කිහිපදෙනකු මරා දමා ඇති බවට තොරතුරු ලැබුණු බවත්, එය පරීක්ෂා කිරීමට ගන්සයිඞ් තුළට පැමිණීමේදී පොලිතින් උර වල ඔතන ලද මළ සිරුරු බවට විශ්වාස කරන සිරුරු කිහිපයක් කැබ් රථය තුළ තිබූ බවත්, ගාමිණී ඇතුළු තවත් කිහිපදෙනකු තවත් එවැනි ම පොලිතින් වලින් ආවරණය කරන ලද මළ සිරුරක් කැබ් රථයට දමමින් සිටි බවත්, මෙලෙස පෙර දින රාත‍්‍රියේ මරා දමා ඇත්තේ කොළඹින් පැහැරගත් පුද්ගලයන් බවට තමන් විශ්වාස කරන බවත්….’

ඒ ඉහත කී නාවික සෙබළාගේ කතාව ලූතිනන් කර්නල්වරයකු විසින් ද තහවුරු කරන අවස්ථාවකි. මේ ලූතිනන් කර්නල්වරයා අදාළ කඳවුරේ බුද්ධි අංශයේ දෙවැනියා ලෙස කටයුතු කර තිබේ. මේ අපරාධයේ තරම වැටහේද?

සමාජය අවුරුදු නවයක් තිස්සේ ගණන් නොගෙන සිටියේ මේ සා බරපතල අපරාධයකි. ඒ අම්මලා වියළුණු බලාපොරොත්තු සහිත දෑස් වලින් වැටෙන කඳුළු අතරින් උසාවියේ විනිසුරු අසුන දෙස බලා සිටින්නේ යුක්තිය අපේක්ෂාවෙන් ය.

ඒ අම්මලා දෙස ඇසක් ඇර නොබැලූ මහත්තුරුන්ය, නැවත බලය ඉල්ලන්නට හදන්නේ. ඒ අම්මලාට කටක් අරින්නට එපා යැයි තර්ජනය කරන්නට ඉඩ දුන් මහත්තුරුන්ය, ජනතාව ඉදිරියේ කිඹුල් කඳුළු හළන්නේ.

– මානව –

ITN News Editor
By ITN News Editor අගෝස්තු 30, 2018 15:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්