fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ධානි ගෝත්‍රයේ ඌරු පූජාව

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2018 08:30

ධානි ගෝත්‍රයේ ඌරු පූජාව

ධානි ගෝත්‍රිකයන් කියන්නේ පැපුවා නිව්ගිනියාවේ ජීවත් වන ආදිවාසී ජන කොට්ඨාසයක්. ඔවුන්ගේ මුළු ජීවිතයම ඝන වනාන්තරය තුළයි ගෙවී යන්නේ. මේ අඩනිරුවත් ගෝත්‍රිකයන්ගේ (Dani People) ගැහැණු උදවිය යන්තමින් යටි කය වසා ගන්නවා.

මේ අතරේ පිරිමි ධානි ගෝත්‍රිකයන් තමන්ගේ ජනනේන්ද්‍රිය සතුන්ගේ අඟකින් ආවරණය කර ගන්නවා. එහෙමත් නැතිනම් ලී කොපුවක් ඒ සඳහා යොදා ගන්නවා .ගෝත්‍රයේ පංති පරතරය පෙන්වන්නටත් මේක හොඳ අවස්ථාවක් කරගෙන තිබෙනවා.

ඔවුන් අතර පුදුමාකාර ගති පැවතුම් සහ උත්සව දැකගන්නට පුළුවන්. ධානි ගෝත්‍රිකයන්ගේ සූකර උත්සවේ එයින් ප්‍රධානයි.

සූකරයා, එහෙමත් නැතිනම් ඌරා, ධානි ගෝත්‍රිකයන්ගේ රසවත් ආහාරයක් විතරක්ම නෙවෙයි, ඔවුන්ට සැප සම්පත් ලබාදෙන සංකේතයක් ද වනවා. සූකරයා තමයි, ඔවුන්ගේ සෞභාග්‍යයේ සංකේතය.

මුලින්ම ඔවුන් සූකර උත්සවයට දිනයක් නියම කර ගන්නවා. ඉන්පසුව ඌරෙකුව අල්ලා ගන්නවා. අල්ලාගත් ඌරා ගම්මැද්දට ගේනවා. එක ළඟ රවුමට හැදුව ගෝත්‍රික නිවාසවල පොදු මිදුල සූකර උත්සවය දවසට විශේෂයෙන් සුද්ද පවිත්‍ර කරනවා. ළමා ළපටි, ගැහැණු පිරිමි හැම කෙනෙක්ම ඉදිරියේ සූකරයාව උත්සවාකාරයෙන් දෙවියන් සහ මළවුන් වෙනුවෙන් මරණයට පත් කරනවා. ඒක තමයි, සූකර උත්සවයේ ආරම්භය.

ඒ අතර ගෝත්‍රික ගැහැණුන්, ඒ මරා දැමූ සූකරයාව දෙවියන්ටත් මළවුන්ටත් පූජා කරනවා. කෝටුවක ලණුවක් අතුල්ලා, මානව ශිෂ්ටාචාරයේ පැරණිතම ක්‍රමයකට ගින්දර උපදවා ගන්නේ ඉන් පසුවයි. මේ හැම දෙයක්ම කරන්නේ ගෝත්‍රයේ වයස්ගතම සාමාජිකයා ඉදිරිපිට ඔහුගේ උපදෙස් අනුවයි.

මේ ගෝත්‍ර නායකයාත් විශේෂ කෙනෙක්. ඔහු ඌරෙක් මෙන්ම මුහුණ පාටකරගෙන සිටිනවා. ඔහුට මේ පූජාවේදී විශේෂ තැනක් හිමි වෙනවා.

මරා දැමූ ඌරා රත් වූ ගල් අතර තබා පුළුස්සන්නට පෙර ධානී ගෝත්‍රිකයන් උගේ වලිගය කපා ගන්නේ දෙවියන්ට සහ මළගිය ඇත්තන්ට පූජා කරන්නටයි.

මේ අතරවාරයේ ඔවුන් එකම නාදයකින් ශබ්ද කරමින්, සිරුරු පද්දවමින් ගෝත්‍රික නැටුමක් නටනවා. කාන්තාවන් සහ ළමා ළපටින් වැල් කොළ අතුරා, බතල වැනි අල වර්ග පුළුස්සන්නට සියල්ල සූදානම් කරනවා. පැය කිහිපයක් ඇතුළත රජ බොජුනක් සූදානම්.

පිළිස්සූ සූකරයාගේ රසවත්ම කොටස් විදිහට සැලකෙන්නේ උදර මාංශ. ඒවා නම් තනිකරම හිමිවන්නේ ගෝත්‍රික පිරිමින්ට පමණයි. කාන්තාවන්ට රස බලන්නට ලැබෙන්නේ ඉතිරි කොටස්. සූකර උත්සවයේදී මුළු ගෝත්‍රයම සූකරයාගේ රස බැලිය යුතුමයි. කිසිම කෙනෙකුට කෑම නොකා ඉන්නට බැහැ. හැම කෙනෙක්ම සූකර මාංශ රස බලන බවට වග බලා ගන්නේ පිරිමි උදවියයි .සූකර උදර මාංශ ආහාරයට ගැනීම නිසා තමන්ට ශක්තිය සහ දීර්ඝායුෂ ලැබෙන බවයි ධානී පිරිමින් විශ්වාස කරන්නේ.

 

-ශානිකා රත්නායක-

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2018 08:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්