fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රැඟුම් පාලනය සහ හැඟුම් පාලනය

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2018 10:16

රැඟුම් පාලනය සහ හැඟුම් පාලනය

‘‘රැඟුම් පාලක මණ්ඩලය විසින් මංකෙළින් මිනිහෙක් නාට්‍ය පිටපත ආපසු කැඳවයි’’

මේ පසුගිය 17 හෝ 18වන දින සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වූ ප්‍රබල පුවතකි. මෙම පුවත මෙසේ නිල වශයෙන් ප්‍රචාරය වන්නට පෙර ම විවිධ පුද්ගලයන්ගේ මුහුණු පොත් ගිණුම් හරහා අදාළ නාට්‍ය පිළිබඳ ඍණාත්මක අදහස් ප්‍රචාරය වන්නට විය. එසේ අදහස් දැක්වූ ඇතැම් අය මෙම නාට්‍යය නරඹා නොතිබුණු බව ද ඒ සමගම ප්‍රචාරය විය. කෙසේ නමුත් මේ වන විට අදාළ නාට්‍ය පිටපත රැඟුම් පාලක මණ්ඩලය විසින් යළිත් මුදාහරිනු ලැබ ඇත.

බොරු කියනවාද කියවනවා ද?

මෙම නාට්‍ය පිටපත ආපසු කැඳවා දින දෙක තුනක් ගත වු මොහොතේ මාලක දේවප්‍රිය විසින් ස්වාධීන රුපවාහිනියට රචනා කරන නාට්‍ය මාලාවක් කෙරෙහි ද නිල නොවන වාරණයක් නිකුත් කෙරෙන්නට විය. ඒ බුදු වදනක් හෙවත් පාලි වදනක් වෙනත් අර්ථයකින් යුතුව ගුවන් විදුලි නාට්‍යයකට යොදාගෙන ඇති බවට ප්‍රචාරය වීමෙනි. ඊයේ දිනය වන විට හෙළි වි ඇති අන්දමට මෙම සාවද්‍ය ප්‍රචාරයේ ආරම්භකයා වන්නේ හිටපු ජනාධිපති, කුරුණැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ය. ඔහු ප්‍රසිද්ධ රැස්වීමක දී පවසන්නේ ‘‘නිර්වස්ත්‍රං පරමං සුඛං’’ නමින් ගුවන් විදුලි නාට්‍යයක් ප්‍රචාරය වන බව ඔහුට ඇසුණු බවයි. ඔහු නාට්‍යයට සවන් දුන්නා ද නැද්ද යන්න කෙසේ වෙතත් එබඳු නමකින් ගුවන් විදුලි නාට්‍යයක් ප්‍රචාරය නොවුණ බව ITN fm ආයතනය මේ වන විට දන්වා ඇත. එසේ නම් එබඳු නමකින් යුත් නාට්‍යයක් වෙනත් ගුවන් විදුලි නාලිකාවක ප්‍රචාරය වුණාද යන්න ද සොයා බැලිය යුතු ය. මන්ද හිටපු රාජ්‍යය නායකයා සිතා මතා බොරු කියනවාද එසේත් නැතිනම් ඔහු ලවා වෙනකකු බොරු කියවනවා ද යන්න සැක සහිත ය.

නාට්‍යය තහනමට පෙර…

ලියුම්කරු මෙම සිදුවීම මෙතරම් ආසන්නයෙන් ආරම්භ කළ ද මෙහි වඩාත් උණුසුම් සහගත ම තත්ත්වය වන්නේ කේ. කේ. ශ්‍රීනාත් විසින් රචිත ‘‘බුදුන්ගේ රස්තියාදුව’’ නමැති කාතිය සම්බන්ධයෙන් පැනනැගුණ වාරණ ක්‍රියාවලිය යි.

අදාළ කෘතිය ජනගතකිරීමට සුදානම්ව සිටි දිනයේ දී ම කෘතියප්‍රකාශයට පත්කළ ආයතනයට පැමිණි පොලිසිය: කෘතිය, කතුවරයා සහ එහි ප්‍රකාශකවරයා ද පොලිසියට රැගෙන ගියේ ය. එහි දී අදාළ කෘතිය වාරණය කළ හැකි යැයි ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොතිබුණ බැවින් කෘතිය, කතුවරයා සහ ප්‍රකාශකයා මුදා හැර තිබුණි. අනතුරුව ඔවුන් සැලසුම් කරගෙන තිබු පරිදි ම කෘතිය ජනගතකිරීම ද සිදු විය.

එදින සිද්ධිය එතැනින් හමාර වුව ද නැවතත් ස්වාමින් වහන්සේ නමක් විසින් කරනු ලැබූ පැමිණිල්ලක් හේතුවෙන් අදාළ කාතිය සම්බන්ධයෙන් වූ සිද්ධිය යළි කරළියට පැමිණියේ ය. ඒ හුදු සාමාන්‍ය පැමිණිල්ලක් ලෙස නොව මෙරට සංස්කෘතික හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ අත්සනින් යුත් නිල නිවේදනයක් ද සමගිනි. එම නිල නිවේදනයේ සඳහන්ව තිබුණේ‘‘බුදුන්ගේ රස්තියාදුව’’ නමැති කෘතිය තුළින් බුදුන් වහන්සේට සහ බුද්ධාගමට බරපතළ ලෙස අවමන් කර ඇති බවයි. එහෙත් ඒ කෙසේ ද යන්න සඳහන්ව නොතිබුණු අතර අදාළ කෘතිය අළෙවිය සහ බෙදාහැරීම ද වාරණය කර එහි රචකයා සහ ප්‍රකාශකයාට එරෙහිව නීතිමය කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා නියෝග කර තිබුණි.

පාඨක, ප්‍රේක්ෂක සහ රසිකයාගේ වගකීම

මේ සිදුවන්නේ කුමක් ද, කාගේ වුවමනාවකට ද? යන්න විමසා බැලිම ප්‍රකාශනයේ නිදහස අගයන ඔබේ ද මගේ ද වගකීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III වන පරිච්ඡේදයේ 14වන කොටසේ සඳහන් අන්දමට නම් මෙසේ ය.

  1. (1)සැම පුරවැසියකුට ම…

          (අ) භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට;

          (ඊ) එකලාව හෝ අන් අය හා සමග හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිතා කිරීමේ නිදහසට;

හිමිකම් ඇත්තේ ය.

එහෙත් ‘‘බුදුන්ගේ රස්තියාදුව’’ නම් වූ කෘතිය තහනම් කිරීම සඳහා යොදාගැනෙන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 290, 290 _ ඒ, 291 _ ඒ සහ 291 _ ඕ වගන්ති යටතේසාපරාධී වරදක් සිදු කර ඇති බව සඳහන් කරමිනි.

කලා කෘතියක් යනු සැබෑව ම ද?

කලා කෘතියක් යනු සැබෑව නොවන අතර එය ප්‍රබන්ධය ම ද නොවේ. එනම් කලා කෘතියක් යනු සැබෑව සහ ප්‍රබන්ධය අතර පවතින ප්‍රපංචයකි. එහි දී නිර්මාණකරුවා යොදාගන්නා පුද්ගල නාම, ග්‍රාම නාම, විවිධ භාණ්ඩ නාම මතු නොව ගස්වැල්වල නම් පවා: අදාළ පුද්ගලයා, ගස් වැල් හෝ වෙනත් ඕනැම දෙයක් පිළිබඳව පවසන ඍජු ප්‍රකාශ නොවන බව සිහිබුද්ධියෙන් යුතුව කලා කෘතියක් රස විඳින පුද්ගලයා වටහා ගතයුතු ය. එසේ වටහා ගැනීමේ මානසික ශක්තියක් අහිමි පුද්ගලයා යනු කලාව රස විඳීමට සුදුසු පුද්ගලයකු නොවන බව වෙසෙසින් සදහන් කළ යුතු නොවේ.

‘‘රස්තියාදුව’’ සහ ‘‘බුද්ධ’’

අනෙක් පසින් ගත් විට ‘‘බුදුන්ගේ රස්තියාදුව’’ යන්නට මෙතරම් විරෝධය පළ වන්නේ මන්ද යන්න ද විමසිය යුතු ය. ‘‘බුද්ධ’’ හෝ ‘‘බුදුන්’’ යනු ලොව වෙසෙන හෝ විසූ එක් පුද්ගලයකු වෙනුවෙන් භාවිතා කල පුද්ගල නාමයක් නොවේ. එය සුවිශේෂීය ද නොවේ. මන්ද ලෝකයේ පහළ වු ‘‘බුදුවරු’’ ප්‍රමාණය ද බහුල ය.කලා කෘතියක් සඳහා නමක් යොදාගැනීමේ දී අදාළ කලාකරුවා යොදන එකී නාමය බොහෝ විට බහු අරුත් සපයන්නකි. එමෙන් ම ‘‘රස්තියාදුව’’ යන්න ද සමාජ ආකල්පයට අනුව හුදු අවර ගනයේ වදනක් වුව ද බුදු දහමට අනුව සියලු සත්වයෝ කරන්නේ ද මේ සසර පුරා රස්තියාදු ගැසීම ම නොවන්නේ ද? නමුත් සාහිත්‍යය කෘතියක රස විඳින්නට නොදන්නා බහුතරය ‘‘රස්තියාදුව’’ යන වදන අරුත් ගන්වන්නේ ඒ සඳහා සමාජය තුළ පවත්නා ආකල්පය තුළ සිරවීමෙන් පමණි. ‘‘රස්තියාදුකාරයා’’ යනු හුදෙක් සමාජයට පලක් ඇති දෙයක නිරත නොවන පුද්ගලයකු ලෙස සංකල්ප ගතවී තිබුණ ද ඕනැම ක්ෂ්ත්‍රයක ඉහළට ගමන් කිරීම සඳහා අදාළ ක්ෂේත්‍රයේරස්තියාදු ගැසිය යුතු ය; එම ක්ෂේත්‍රයේ පවතින සියලු දැ පිළිබඳව අවබෝධය ලැබිය යුතු ය; එය තව දුරටත් වර්ධනය කරගැනීම සඳහා තව තවත් රස්තියාදු ගැසිය යුතු ම ය එසේ නොවන පුද්ගලයා පරිපූර්ණ පුද්ගලයකු නොවේ.

මේ අර්ථ කථනය සැපයූයේ ‘‘රස්තියාදුව’’ යන වදන සංකල්ප ගතවී ඇති ආකාරයේ අරුත එම අරුතෙන් ම පමණක් නොගෙන එහි ධනාත්මක අරුතක් ද පවතින බව ගම්‍ය කිරීම සඳහා ය. ‘‘බුදු’’ හෝ ‘‘බුද්ධ’’ යනු ද එබඳු වදනකි.

‘‘බුදු’’ හෙවත් ‘‘බුද්ධ’’

‘‘බුදු’’ යන්නට පර්යාය පද ලෙස හරිශ්චන්ද්‍ර විජේතුංග මහතා සිය ප්‍රායෝගික සිංහල ශබ්ද කෝෂයේ සඳහන් කරන්නේ 1. බුද්ධ, 2. අවබෝධ කළ දෙය, 3. බුදු බව; බුද්ධත්වය, 4. උපදෙස් දෙන්නා, 5. බුදු පිළිමය, 6. වැළඳීම හෙවත් අනුභව කිරීම යනුවෙනි.

එමෙන්ම එහි සඳහන් ආකාරයට ‘‘බුදුන් වහන්සේ’’ යනු ද ‘‘චතුරාර්ය සත්‍යය’’ අවබෝධ කරගත් පුද්ගලයා ය.

එසේ නම් ‘‘බුද්ධ’’ යනු කිසියම් පුද්ගලයකු වෙනුවෙන්, ඔහුගේ හෝ ඇයගේ දැනුම සහ අවබෝධය වෙනුවෙන් භවිතා කරන විශේෂණ පදයකි. තව දුරටත් පවසන්නේ නම් එය පුද්ගල නාමයක් නොවේ. පුද්ගලයකු වෙනුවෙන් භාවිතා කරනා සුවිශේෂ පදයකි. අද දවසේ නම් එය ආචාර්ය, මහාචාර්ය, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, සේවාජිත මහාචාර්ය හෝ වෙනත් ගෞරව නාමයක් විය හැකි ය. මෙහි දී එක් පුද්ගලයකු ඍජුව ඉලක්ක කර නොගන්නා බව කලා නිර්මාණයක් රසවිඳින්නෝ වටහා ගත යුතු ය; කලා නිර්මාණයක් වාරණය කරන්නට පෙර එය වාරණය කරන්නෝ ද මෙය වටහාගත යුතු ය.

කලාකරුවාගේ වගකීම

සියලු කලා වාරණයට එරෙහි වන්නා සේ ම කිසියම් කලාකරුවකු රටේ පවත්නා නීති රිතිවලට ද (නිතිය යනු යුක්තිය ම හෝ සාධාරණය ම නෙවෙන බව ද සිහි තබාගත යුතු ය) හිස නැමිය යුතු බව ද මෙහි දී සඳහන් කළ යුතු ය. මෙය වෙසෙසින් අදාළ වන්නේ අසංක සායක්කාරගේ ‘‘මං කෙළින් මිනිහෙක්’’ වේදිකා නාට්‍යය සම්බන්ධයෙනි.

එම නාට්‍යය පිටපත රැඟුම් පාලක මණ්ඩලය අනුමත කළ පිටපතකි. අදාළ පිටපතට අනුව එම නාට්‍යය නිෂ්පාදනය කර එය වේදිකා ගතකළ බව ද අපි දන්නෙමු. එහෙත් අදාළ නාට්‍ය අනුමත කළ රැඟුම් පාලක මණ්ඩලය ම යළිත් එම පිටපත ආපසු කැඳවන්නේ ය. ඒ කිසිවකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ය.

අනතුරුව ඊයේ දිනය වන විට අදාළ නාට්‍ය පිටපත නැවත එහි නිෂ්පාදකවරයා සහ අධ්‍යක්ෂකවරයා වන අසංක සායක්කාර වෙත ලබා දී ඇත. එසේ ලබා දීමෙන් අනතුරුව අදාළ නාට්‍ය පිටපත නැවත කැඳවීමට හේතුව සහ කැඳවු නාට්‍ය පිටපත නැවත නිදහස් කිරීමට බලපැ කරුණු ද පැහැදිලිව සඳහන් කර ඇත. සිහිබුද්ධියෙන් එය කියවන විට හැඟී යන එක් කරුණක් වන්නේ රැඟුම් පාලක මණ්ඩලයෙන් අනුමත කළ පිටපතට සාම්‍ය නොවන පිටපතක් වේදිකා ගතකර ඇති බවයි. එය අදාළ නාට්‍යයේ නිෂ්පාදකයා ද පිළිගෙන ඇත. කෙසේ හෝ යළි පිටපත අනුමත කරවා ගැනීම සඳහා වරද පිළිගත්තේ ද, එසේත් නොමැති නම් සැබවින් ම තමන් අදාළ පිටපත සහ එහි දෙබස් ඛණ්ඩ වෙනස් කරමින් නාට්‍ය නිෂ්පාදනය කළා ද යන්න නිශ්චිතව ම දන්නේ ඔහු ම පමණි. එසේ අනුමැතිය ලද පිටපත වෙනස් කර අදාළ නිර්මාණය සමාජගත කළේ නම් එහි වරද නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා බාරගත යුතු ය. ඔහු එසේ නොකළේ නම් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ද ඔහුට අවකාශ පවතී. එහෙත් ඔහු එසේ නොකරමින් අදාළ සිද්ධිය වැරැදීමකින් සිදු වුවක් බව පවසා ඇත. එසේ නම් මෙහි දී අපි හුදෙක් ‘‘වාරණ මණ්ඩලය’’ නමැති පුද්ගල කණඩායම වෙත පමණක් ඇඟිල්ල දිගු කිරීම ද සාධාරණ නොවන බව මගේ හැඟීම ය.

අවසන් වශයෙන් පැවසිය යුත්තේ වාරණය යනු එක් එක් පුද්ගලයාගේ, ආගමික පාර්ශවවල, දේශපාලන කණඩායම්වල හෝ සදාචාරවාදින් වෙනුවෙන් පෙනී සිටිය යුතු දෙයක් නොව තමන්ගේ හෘද සාක්ෂියට එකඟව කළ යුතු කටයුත්තකි. ඒ සදහා සරල උදාහරණයක් ඉදිරිපත් කරමින් ම මෙම ලිපිය අවසන් කරමි.

කිසියම් නව යොවුන් යුවළක් විවාහ පත්වූ පළමු දවසේ ‘‘මධුසමය’’ ගතකිරීමට යන්නේ ඔහුගේ සහ ඇයගේ දෙමවුපියෝ, වැඩිහිටියෝ, ඥාතිමිත්‍රාදි සියලු දෙනාගේ ආශිර්වාදය මත ය. එසේ යන්නේ කුමකට ද යන්න සියල්ලෝම දනිති. එසේ දැන සිටියා කියා එම දෙපළ ‘‘මධුසමය’’ ගොස් ප්‍රසිද්ධියේ අදාළ කටයුත්තේ නිරත නොවෙති. එය ඔවුන්ට ම පමණක් සීමා වු වටපිටාවක සිට කරන්නකි. එවිට ඔවුන්ට ඒ සඳහා කිසිවකු බාධා නොපමුණවති. එහෙත් අදාළ කාර්ය ප්‍රසිද්ධියේ දොර ජනෙල් ඇරගෙන කරන්නේ නම් ඔවුන්ට සමාජයේ විරෝධය එල්ල වීම නොවැළැක්විය හැකි ය.

‘‘වාරණය’’ නමැති ක්‍රියාදාමයේ දී වාරණය කරන්නෝ ද වාරණයට ලක්වන්නෝ ද මේ කරුණු සිහියේ තබාගෙන කටයුතු කරන්නේ නම් ‘‘වාරණය’’ නමැති වදනට මෙපමණ අගයක් නොලැබෙනු ඇතැයි යන්න මගේ පුද්ගලික විශ්වාසය යි. එහෙයින් රැගුපාලක මණඩලය ද නිර්මාණකරුවෝ ද සිය හැඟුම් පාලනය කරගැනීම ඉතා වැදගත්වනු ඇත.

– ජයසිරි අලවත්ත

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2018 10:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්